Читать книгу: «ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා», страница 3

Шрифт:

මරීනා නිරතුරු සිතු වේ ඔහු බොහෝ විට සමාජ ආශ්‍රයන් වලදී තරමක් කම්මැලි පුද්ගලයෙකු බවය. එබැවින් තම සහකරු, තම වෘත්තිය කෙරෙහි උනන්දුවක් දැක්විය යුතු යැයි අපේක්ෂා කළ අවස්ථාවන් සඳහා පමණක් ඔහුව කැඳවාගෙන ගියාය. පියොටර් ඒ ගැන දැන සිටියත් එය කිසිසේත් මායිම් නොකළේය. ඒ සියල්ල ඔහුගේ චර්යාවට හොඳින් ගැලපුණි.

නටාෂා සමහර අවස්ථාවන්හිදී සංස්කෘතික අංගවලට සහභාගී විය. නිදසුනක් ලෙස, ඇය ගායනා කණ්ඩායමේ සිටිමින් ගායනා ඉදිරිපත් කරනු හෝ වීශ්ව විද්‍යාල කණ්ඩායමේ සිටිමින් සාම්ප්‍රදායික නැටුම් ඉදිරිපත් කිරීම හෝ කෙරුවාය. නමුත් පොදුවේ ගත් කල සංස්කෘතික හුවමාරු වැනි නොවැදගත් ක්‍රියාකාරකම්වල යෙදීමට ඇයට කාලය නොමැති බව සලකනු ලැබීය. ඒවා පහත් මට්ටමේ ක්‍රියා බව එයින් අදහස් නොවන බවත්, ඇය වෙනුවෙන් වෙනත් අරමුණු දෙමවුපියන් ලෙස ඔවුන් සැලසුම් කර ඇති හෙයින් බවත් ඇයගේ මව ඇයට පැවසුවාය. නමුත් එම සැලසුම් මොනවාදැයි කිසිවෙකු තවමත් දැන නොසිටියෝය. එහෙත්, දරුවන් ගැන දන්නා ඕනෑම අයෙකු දැන සිටියේ, ඇය විශේෂ බවත් ඇයගේ භාෂා කුසලතා අතිවිශිෂ්ට බවත් ය.

ඔවුන්ගේ පැත්තෙන්, මිසුකිවරු මරීනාට කැමති වූහ. ඔවුන් ඇයගෙන් විහිදෙන්නාවූ බලයට ගරු කළහ. නමුත් ඔවුන් සිතුවේ සෑම දෙයක්ම බරපතල ලෙස නොගෙන ‘ටිකක් සැහැල්ලු’ වියයුතු බවයි. ඇය සෑම විටම රහසින් කුමන්ත්‍රණය කරමින් හෝ එම කුමන්ත්‍රණ සඳහා සැලසුම් කරමින් හෝ නැතහොත් දැනට සිදුවෙන කුමන්ත්‍රණ සහ ඒවාට සැලසුම් සොයමින් හෝ සිටින බවක් පෙනෙන්නට තිබුණි. ජනාධිපති ආරක්ෂකයෙකු සැමවිටම ඔහුගේ මනසින් ‘වෙනස් තැනක’ සිටිනවා සේ මරීනා සෑම විටම අඩක් සවන් දෙන බවක් පෙනෙන්නට තිබුණි. ඔවුන් නොදැන සිටි දෙය නම්, ඒ දිනවල රුසියානු සමාජයේ තිබූ, ඔබ විශ්වාස නොකරන කෙනෙකු සමග ඔබ සංවාදයේ යෙදෙන්නේ නම් එම තැනැත්තා දෙස ඇස යොමු කර තබා ගැනීම වැදගත්ය යන පොදු පිළිගැනීමයි. ඔබ ඔවුන්ව විශ්වාස කළේ නම්, ඔබේ සංවාදයට වෙනත් අයෙකු සවන් දීමට උත්සාහ කරන්නේ දැයි බැලීමට ඔබට නිදහස තිබේ. සෝවියට් සමාජයේදී ඔබ කෙරෙහි විශ්වාසය නොතැබූ අයගේ දෑස් දෙස බැලිය යුතුය. මනස පිරිසිදු කිරීමේ ගුරුවරු, සෑම කෙනෙකුටම එම පාඩම ඉගැන්වූහ.

මිසුකිවරු තම පළමු ‘අගෝස්තු කසක් චාරිකාව’ ගියපසු සෑම වසරකම ඒ සඳහා පිටත් වුහ. ජපාන කොමියුනිස්ට් පක්ෂයට සැමවිටම ඔවුන්ට අරමුදල් සැපයිය නොහැකි වූ අතර එවන් විටක ඔවුන් තමන්ගේ අරමුදල් සපයා ගත්හ. නමුත් මරීනා සෑම විටම ඔවුන් වෙනුවෙන් යහපත් වචනයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ අතර සෑම විටම ඔවුනට අවධානය, සෙනෙහස පෑමටද නොපැකිලුනාය. ඒ හා සමානව, මරීනා ටෝකියෝවට ගිය විට, ඔවුන් අවම වශයෙන් එක් වරක්වත් රාත්‍රී ආහාරය සඳහා පිටතට ගියහ. නැතහොත් සුසුමේගේ දෙමව්පියන්ගේ නිවසේදී පිසූ ආහාර වේලක් සඳහා හමුවූහ. පනස් ගණන්වල මැද භාගය වන විට ඔවුන් දෙදෙනාට තමන්ගේම නිවසක් තිබුනද, මරීනා සමඟ ඔවුන්ගේ මිත්‍රත්වය සමෘධිමත් වෙමින් තිබියදී, ඔවුන් ඇමරිකානු ඔත්තුකරුවන්ගේ සැකයට භාජනය වී ඇය සමඟ ඔවුන් සම්බන්ධකම් පවත්වන බව පෙන්වීමට ඔවුන් බිය විය. නමුත් අහම්බෙන් දකින්නාවූ නිරීක්ෂකයෙකුට මරීනාව පෙනුනේ ජපන්, හෝ කොරියානු හෝ අර්ධ ජපන් අර්ධ කොරියානු කෙනෙකු ලෙසය. ඇය ජපානයේ සිටියදී නිරතුරුව දෝෂ රහිත ජපන් භාෂාවෙන් කතා කළාය. ඇය පාවිච්චි කල ඇඳුම්ද ප්‍රාදේශීය මධ්‍යම පාන්තික කාන්තාවක අඳින පළඳින ඇඳුම් වලට සමාන විය.

මෙය අහම්බයෙන් සිදුවූවක් නොවේ, අල්මා අටා හි බොහෝ දෙනෙකුට වෙනත් ජාතීන් වශයෙන් පෙනීසිට, විශේෂයෙන් ආසියාතික සහ යුරෝපීය යන මහද්වීප දෙකෙහිම සිටින පුද්ගලයින්සේ නිරූපණය කොට ගැලවී යාමේ හැකියාවක් තිබුණි. එය ඉතා විශ්වීය නගරයක් වූ අතර එය සියවස් ගණනාවක් පුරා පැවතුනි. ක්‍රි.පූ 1000 දී පමණ පැවතියාවූ ලෝකඩ යුගයේදී පළමු පුද්ගලයින් එහි පදිංචි වී ඇති බවට සාක්ෂි ඇති අතර ක්‍රි.ව. 1000 සිට එය සේද මාවතේ වැදගත් වෙළඳ, ශිල්පීය හා කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් වූ අතර ගණුදෙනු සඳහා ඔවුන්ගේම කාසි භාවිතා කරන ලදී. එය සියවස් ගණනාවක් තිස්සේ ජාතීන්ගේ නිල නොලත් වෙළඳ මධ්‍යස්ථානය විය.

ඇත්ත වශයෙන්ම, මරීනාගේ සහ පියොටර්ගේ දැනට භාවිත නාමයන් ඔවුන් ඉපදුණු නම් නොවීය. ඔවුන් දෙදෙනාම පෙනුමෙන් ආසියානුවන් වූ අතර ඔවුන්ගේ දෙමව්පියන් වෙනත් බොහෝ අය මෙන් ඔවුන්ගේ නම් රුසියානු කරණය කිරීමේ පූර්වාරක්ෂාව ගෙන තිබුනේ කසකස්තානය රුසියානු කොලනියක් කිරීමේ චේතනාවෙන් එය වෙත එවනු ලැබූ දස දහස් ගණනින් වූ සැබෑ රුසියානුවන් සමඟ වඩා හොඳින් මුසුවීම සඳහාය.

රජය වසරකට වර්ග මීටර් 300,000 ක පමණ වාසස්ථාන ඉදිකරමින් සිටි අතර, මෙම කාලය තුළ ඒවායින් බොහොමයක් ගොඩනගන ලද්දේ කසකස්තාණු නොවන අය සඳහා වන අතර එම වාසස්ථාන භූමිකම්පා වලට ඔරොත්තු දෙන අන්දමින් සාදන ලද නිවාස විය. පුවත්පත්වල එය හැදින්වූ අන්දමට කෘෂ්චෙව්ගේ ‘නොකිලිටි ඉඩම් ව්‍යාපාරයේ’ එක් ප්‍රතිඵලයක් වුයේ, 1970 වන විට මුල් ආදිවාසී ජනගහනය සුළුතරයක් වූ එකම සෝවියට් ජනරජය කසකස්තානය වීමයි.

බොහෝ පවුල් විසින්, ඉදිරියට පැමිනිය හැකි මේ ව්‍යසනය තේරුම් ගෙන ඔවුන්ගේ මුල් කසකස් නම් අතහැර දමා තිබුණි. බොහෝ දෙනෙකුට එය නරක දෙයක් විය. නමුත් මරීනා සහ ඇය වැනි තවත් අය හැරෙන්නට භාෂාව සහ සංස්කෘතිය යන අංග දෙකම සම්පූර්ණයෙන් අතහැර දැමීම භයානක දෙයක් විය.

පියොටර් නොසන්සුන් වීමට හේතුවූ මරීනාගේ තවත් පැතිකඩක් වූයේ එයයි.

4 1967 ගිම්හානය

විශේෂ දහඅටවන උපන්දින සංග්‍රහයක් ලෙස හිරෝටෝ සහ සුසුමේ විසින් සැප්තැම්බර් මාසයේදී ඇය විශ්ව විද්‍යාලයට යාමට පෙර යූයි හට ඔවුන් සමඟ නිවාඩුවක් ගත කරන ලෙසට ආරාධනා කළහ. ඇය ජීවිතයේ පළමු වතාවට විදේශගත වීමේ අවස්ථාව ලබා ගත්තාය.

“ඔයාලා කොහෙටද යන්නේ?” ඇය ඇසුවාය, “ආයෙත් දකුණු කොරියාවටද?”

ඔවුන්ගේ සැබෑ ගමනාන්තය සෝවියට් සංගමය බව ඇය හෝ මිසුකිගේ සී.පී.ජේ. නොවන මිතුරන් කිසිවෙකු හෝ දැන සිටියේ නැත. ඔවුන් සැබවින්ම සෝවියට් දේශයට යන බව දැනගත් යූයි අතිශයින් ප්‍රීති වුවාය. ඒ ඇයගේ රුසියානු භාෂාව එහිදී භාවිතා කරමින් වඩා හොඳින් පුහුණු වීම් කළ හැකි නිසාය. ඇගේ දෙමාපියන් දකුණු කොරියාවේ එකම හෝටලයකට නැවත නැවත ගියේ ඇයි දැයි ඇය බොහෝ විට කල්පනා කර තිබුනි. එසේ යාම අතිශයින් ඒකාකාරී සිත් ඇදනොගන්නා කාරණයක් බවද ඇය සිතුවාය. කෙසේ වෙතත් දැන් මේ දැනගත්තාවූ දෙය අතිශයින්ම සිත් ඇදගන්නා සුළු විය.

“යූයි, ඔයාව මීට වඩා පුදුමයට පත් කරන්න අපිට බැහැ. ඒ උනාට අල්මා අටා ගැන කිසිම කෙනෙකුට දැනගන්න තියන්න ඔයාට බැහැ. අපි ආයෙත් දකුණු කොරියාවට යනවා කියලා කවුරු හරි ඇහුවොත් කියන්න.”

“මට තේරෙනවා තාත්තේ. මම කාටවත් මුකුත් කියන්නේ නැහැ. ඔයාට මා ගැන විශ්වාසය කරන්න පුළුවන්.”

“සොඳුරිය, අපිට ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියලා අපි දන්නවා”, සුසුමේ පැවසුවාය. “ඉතින් ඒ නිසාම තමයි අපි ඔයාව එක්කන් යන්නේ. අනික ඔයා දැන් වයසිනුත් වැඩියි, ඒ වගේම ඔයාට ඔයාව පාලනය කර ගන්නත් දැන් පුළුවන්නේ. මේ ගමන ඔයාට හොඳ අත්දැකීමක් වගේම හොඳ නිවාඩු කාලයකුත් වෙයි කියලා අපි හිතනවා.”

ඔවුන් මුලින් ම මරීනා සමඟ ඔවුන්ගේ ගමන් සැලසුම් පවසා පරීක්ෂා කර ගත් අතර, ඇය එම යෝජනාව ඇගේ කමිටුවට ඉදිරිපත් කළාය. නමුත් කමිටුවේ සෑම කෙනෙකුම එය අපූරු අදහසක් ලෙස සිතුවේ තමන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා තවත් කෙනෙකු, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන තරුණ කෙනෙකු තමන් වෙතට හරවා ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස සලකා ගෙනය. මෙවන් හරවා ගැනීම් සඳහා මධ්‍යම කාරක සභාව නිරතුරු තම කාර්ය මණ්ඩලය උනන්දු කරවුවෝය. උපාධිධාරී සිසුන්ට හොඳ රැකියා ලැබුණු අතර විදේශ රටක හොඳ රැකියාවක යෙදී සිටින, තමන් වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙකු සිටීම යනු එම රටේ රජයේ හෝ වාණිජමය හෝ වේවා බල කඳවුරකට ඇතුළු වීම හා සමාන වීමයි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයේදී මාතෘ භූමියට භාවිතා කළ හැකි රහස් මෙම රාජ්‍ය සහ වාණිජ අංශ දෙකෙහිම තිබුණි.

1967 වසර යනු මිසුකිවරුන්ට සෝවියට් ගමන සඳහා තමන් වෙනුවෙන් මුදල් ගෙවිය යුතු වසරක් වූ නමුත් ඔවුන් සී.පී.ජේ. විසින් තම දියණිය වෙනුවෙන් මුදල් ගෙවනු ඇතැයි කිසිසේත් අපේක්ෂා නොකළෝය. ඔවුන් තිදෙනා සඳහාම වියදම් ඔවුන් දැරුවද, වියදම් කල මුදලට සාපේක්ෂව එය තවමත් ලාභදායක නිවාඩු කාලයක් විය, මන්ද ඔවුන්ට ගෙවිය යුතු වූයේ සෝල් නගරය වෙත ගොස් නැවත පැමිණීමට අවශ්‍යවූ ගුවන් ගාස්තුව පමණක් වූ බැවිනි.

මරීනා උතුරු කොරියාවේ පිහිටි හමුදා ගුවන්තොටුපලේදී ජපානයෙන් පැමිණි පිරිස මුණගැසී ඔවුන් සමඟ නැවත අල්මා අටා වෙත පියාසර කළ අතර එහි ඔවුන් වෙනුවෙන් බස් රථයක් සුදානම්ව තිබුනේ ඔවුන්ගේ හෝටලයට ඔවුන්ව රැගෙන යාමටය. යූයි මුළු ගමනම අතිශයින්ම සිත් ඇදගන්නා සුළු බව දැන ගත්තාය. සැබවින්ම, ඇය කියා සිටියේ ටෝකියෝ ගුවන්තොටුපළේ ඔවුන්ගේ ගුවන් යානය එනතෙක් බලා සිටීම තමා මෙතෙක් අත්විඳින ලද වඩාත්ම සිත්ගන්නා සුළු දෙය බවයි. පසුව ඇය ගුවන් ගමන ගැනත්, හෝටලයට පැමිණි කුලී රථ ගමන ගැනත්, හෝටලයේ තමාගේම කාමරයක් තිබීම ගැනත් එයාකාරයෙන්ම පැවසුවාය.

දේශ සීමාව හරහා උතුරු කොරියාවට හොරෙන් ගෙන යන විට ඇයට දැනුණු ප්‍රමෝදය ඇයට දරාගත නොහැකි තරම් විය. එලෙසම විදේශීය රටකදී ප්‍රභූවරයකු ලෙස සැලකුම් ලැබීම, එය වෙන කිසිම රටකදී නොව එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව මගින්ම ලැබීම! තම දියණියගේ මුහුණෙහි දිගින් දිගටම තිබුනාවූ ප්‍රීතියේ හැඟීම් දැකීමෙන් හිරෝටෝ සහ සුසුමේ ප්‍රාර්ථනා කළේ ඔවුන් මීට පෙර ඇයව ඔවුන් සමඟ රැගෙන ආ යුතුව තිබුන බවය. යූයි සම්බන්ධයෙන් ගත් කල, විදේශයක ජීවත්වීමට සිහින මැවූ අවුරුදු පහළොව යුක්ති සහගත බව ඇයට හැඟුණි. ඇය වෙන කවරදාටත් වඩා අධිෂ්ඨාන කර ගත්තේ ජපානයෙන් පිටව යාමටය, නමුත් ඇය දැනට මේ සම්බන්ධව ඇගේ දෙමාපියන්ට පැවසීම විචක්ෂණශීලී නොවේ යැයි සිතුවාය.

ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ කසක් හෝටලයට ඇතුළුවී ලියාපදිංචි වූ පසු, මරීනා සුසුමේගේ අත අල්ලාගෙන, එක් ආඩම්බර මවකගෙන් තවත් මවකට ලෙස පැවසූවේ, “මම අවුරුදු ගණනාවක් පුරාවට යූයිගේ ඡායාරූප දැකලා තියනවා, නමුත් ඒ පින්තූර එයාට සාධාරණය ඉටු කරලා නැහැ. ඇය මගේම දුව වගේම තමයි, ඉතාමත් රූමත් තරුණියෙක්”. ඇය තමාගේ ඔරලෝසුව දෙස බැලුවාය. “මගේ දුව මේ වෙලාවේ ළමා නිවාසයකට උදව් කරනවා, ඒ වුනත් මම අද සවස එයාව මාත් එක්ක අරගෙන එන්නම්. මට විශ්වාසයි අපේ දුවලා දෙන්නා හොඳම යාළුවන් බවට පත්වෙයි කියලා. මම ඔයාව හතට බලන්න එන්නම්, මට දැන් ඉක්මනින් යන්න ඕනේ, බයි-බායි.”

නටාෂා මහත් ආශාවෙන් බලා සිටියේ ඇගේ පළමු විදේශිකයා හමුවීමේ බලාපොරොත්තුවෙනි. නමුත් පියෝටර් එම ගමන යන්නට එතරම් උනන්දුවක් නොදැක්වීය. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූයේ ‘ලෝක කම්කරුවන් එක්වව්!’ බව ඔහු දැන සිටියේය. ඔහුද පක්ෂයේ එම දැක්මට එකඟ වූ නමුත් ඔහු මැන්චූරියාවේදී ජපන් ජාතිකයින්ට එරෙහිව සටන් කර ඇති අතර ඔහුගේ මිතුරන් හා සහෝදරවරුන් බොහෝ දෙනෙක් ජපනුන් විසින් ඝාතනය කරනු ලැබුහ. ඕනෑම යුද්ධයකදී සිදුවිය හැකිවාක් මෙන්, ඉන් සමහරු බිහිසුණු ලෙස මරණයට පත් වූ අතර තම පරණ සතුරා සමග ආශ්‍රය කරමින් තමන් සමග එකට සටන්කොට මියගිය තම සහෝදරයන්ට අගෞරව කිරීමට ඔහුට අවශ්‍ය නොවීය. කෙසේ වෙතත්, තම දියණිය හට වෙන රටකින් නව මිතුරෙකු හමුවීමේ වැදගත්කම වටහාගත් ඔහු ඇයට සහාය දැක්වීමට ගියේය.

“මට නම් මේක හරිම කම්මැලි දෙයක් වෙයි, මරීනා, එහෙම නේද? මම කිව්වේ, අපිට පොදු භාෂාවක් නැහැ නේද?”

“නැහැ, පියොටර්, ඒ උනාට දුක් වෙන්න එපා, ඔයාට කියන්න තරම් රසවත් දෙයක් ගැන හිතන්න පුළුවන් නම්, ඔයාගේ දුව හරි මම හරි ඒක ඔයා වෙනුවෙන් පරිවර්තනය කරන්නම්.” ඇය විහිළු කිරීමට උත්සාහ කළ නමුත්, එම විහිළුව මගින් ඔහුට රිදුන අතර ඔහුගේ ගමන ගැන තිබූ නොකැමැත්ත වැඩියෙන් දැනෙන්නට විය.

“කමක් නෑ තාත්තේ, මම ඔයා වෙනුවෙන් පරිවර්තනය කරන්නම්, හිතලා බලන්න, ඔයාට බලන් ඉන්න ලස්සන කාන්තාවන් හතර දෙනෙකු ඉන්නවා, අම්මාටයි මටයි බලන් ඉන්න වෙන්නේ වයසක පිරිමි දෙන්නෙක් දිහා තමයි.”

හාස්‍යය ඇති කිරීම සඳහා වූ ඇයගේ එම උත්සාහය සාර්ථක වූ අතර එමගින් ඔහුගේ මුවට සිනහවක් නැගුණි. ඒ නිසා ඔහු තම හොඳම ජැකට්ටුව ඇදගෙන පහළ තට්ටුවට ඔවුන් පසුපස ගියේ මරීනා හට වරප්‍රසාදයක් ලෙස ගමන වෙනුවෙන් ලැබුණු කුලී රථයටය. අවම වශයෙන් පළමු රාත්‍රිය එතරම් බරපතල නොවනු ඇතැයි ඔහු සිතුවේ, සංචාරකයින් සියලු දෙනාටම පොදු දෙයක්වූ මහන්සියෙන් අමුත්තන්ද සහතික ලෙස පීඩා විඳින නිසා, ඔවුන්ට ඉක්මනින් නින්දට යාමට අවශ්‍ය වනු ඇති නිසාය. මෙම ස්ථානය නගරයේ ඉහළම අවන්හලක් වූ අතර එහි ස්ථානයක් සවස් වරුවේ පක්ෂය විසින් ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබිණි. විධිමත් ලෙස පිළිගැන්වූ කොටස් හතරකින් යුත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ඔවුන් භුක්ති වින්ද අතර සාම්ප්‍රදායික සංගීත කණ්ඩායම් දෙකක්, එනම් රුසියානු සහ කසකස් සංගීත කණ්ඩායම් දෙකක් මගින් සංගීතය වාදනය කරන ලදී.

මරීනා, ඇයගේ පවුලේ අය, අමුත්තන් විසිතුන් දෙනා සහ පක්ෂයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ භාර්යාවන් දිගු මේසයක වාඩි වී සිටියහ. මරීනා මේසයේ මැද හිඳ සිටි අතර ඇයගේ දකුණු පසින් ඇයගේ පවුලේ සාමාජිකයින් දෙදෙනාද, වම් පසින් අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් දෙදෙනාද අසුන් ගත්තෝය. ඔවුනට ඉදිරිපසින් මේසයේ වාඩිවී සිටියේ මිසුකිවරුය. මරීනාගේ පළමු කාර්යය වූයේ තම උසස් නිලධාරීන් එකිනෙකාව අමුත්තන්ට හඳුන්වා දීම වූ බැවින්, ඇය ඔවුන්ව මේසය වටා ගෙන ගොස් හැඳින්වීම් කළාය.

මරීනා සිය පිළිගැනීමේ කථාව ඉතා කෙටියෙන් කලේ, එම කතාව ජපන් භාෂාවෙන් සහ ජපන් වචනයක්වත් කතා නොකළ කාමරයේ අසුන්ගෙන සිටි සියයක් පමණ වූ තම පක්ෂයේ සෙසු සාමාජිකයන්ගේ පහසුව පිණිස රුසියන් භාෂාවෙන්ද කලයුතු වූ බැවිනි. ඔවුන්ගේ සත්කාරකයන්ට ස්තූති කරමින් කෙටි පිළිතුරු කථාවක් සී.පී.ජේ. හි සභාපති විසින් ලබා දුන් අතර තවත් රුසියානු නිලධාරීන් කිහිප දෙනෙක් කෙටියෙන් කතා පැවැත්වූහ. නමුදු ඒ කිසිවක් කිසිවෙකු විසින් පරිවර්තනය නොකළේය. සිරිත් විරිත් කටයුතු අවසන් වූ විට, ආහාර ගැනීම ආරම්භ වූ අතර මිනිසුන් විවේකී ස්වභාවයෙන් සිටියෝය.

හිරෝටෝ විසින් මිර්ස්කි වරුන් පුදුමයට පත් කළේ ඉදිරියට නැමී කැඩුණු රුසියානු භාෂාවෙන් පියොටර් සමඟ කතා කරමිනි. හිරෝටෝගේ තදබල උච්චාරණ ශෙෙලිය නිසා පියොටර්ට ඔහු කිවූ දේ තේරුම් ගැනීම අපහසු විය, නමුත් ඔහු හිරෝටෝ දැරූ උත්සාහය අගය කළ අතර වයින් සහ වොඩ්කා පාවිච්චිය වැඩිවත්ම ඔහු තදබල උච්චාරණයට පුරුදු වූ අතර සන්නිවේදනය පහසු විය. මරීනා තමා සිතාසිටි ප්‍රමාණයට වඩා පියොටර් හට උදව් කළ නමුත් එය ඇය බලාපොරොත්තු වූවාට වඩා අඩු ප්‍රමාණයක් විය. එසේ වූයේ මරීනාට නොකියා, ඇයව තම ඊළඟ චාරිකාවේදී පුදුම කරවනු පිණිස මිසුකිවරු පසුගිය මාස දොළහක කාලයක් තිස්සේ රුසියානු භාෂාව ඉගෙන ගෙන තිබූ නිසාය.

ගැහැනු ළමයින් දෙදෙනාගේ සංවාදය ආරම්භ වූයේ එකිනෙකා දෙස බලා තම දෙමව්පියන්ගේ අමුතු උපායන් දෙස විහිළුවෙන් සිනාසෙමිනි.

“යූයි, ඔයා කතා කරන්නේ මොන භාෂාද?” නටාෂා අයගෙන් ඇසුවාය.

"රුසියානු, ජපන් සහ ඉංග්‍රීසි, ඒවා වලින් ඕනෑම එකක් මට පුළුවන්, නටාල්යා, ඔයා කැමති ඕනෑම එකකින් කතා කරන්න."

ඔවුන් ජපන් හා රුසියානු භාෂාවන් අතර පහසුවෙන් කතාබහ කළ අතර, විශේෂිත සූක්ෂමතාවයක් ලබා ගැනීමට, විලාසිතාවක් ලෙසට හෝ සුදුසු යැයි හැඟුණු විට ඉංග්‍රීසි වචන කිහිපයක් ඒ අතර භාවිත කළෝය.

“ඔයා ඉංග්‍රීසි කතා කරන්නේ ඇමරිකානු උච්චාරණයකින්” කියා නටාෂා පැවසුවාය.

“ඔව්, ජපානයේ ඇමරිකානු සොල්දාදුවන් සහ සංචාරකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවනේ. ඉංග්‍රීසි භාෂා රූපවාහිනී චැනල් එක ඇත්තෙන්ම ඇමරිකානුයි.”

“මටත් ඉංග්‍රීසි උච්චාරණයක් තියනවා. මගේ ඉස්කෝලේ බීබීසී ලෝක සේවයේ ඉන්න අය කතා කරන විදිහට කතා කරන්නයි උගන්නනේ. නමුත් ඒක අමාරුයි, මොකද අපිට ගෙදරදී ඒකට ඇහුම්කන් දෙන්න එපා කියලා කියන නිසා. අපේ කථිකාචාර්යවරු සුදුසු වැඩසටහන් පටිගත කරලා, ඒවා සංස්කරණය කරලා තමයි අපිට පුරුදු වෙන්න දෙන්නේ.”

“යම් විදිහක වාරණයක්, එහෙම නේද ඔයා අදහස් කළේ? ඔයාලට මෙහෙ වාරණ දාලා තියෙනවාද?”

“මම හිතන්නේ එහෙම තමයි. නමුත් ඒක අපේම යහපතට තමයි. බටහිර ධනේශ්වර ආණ්ඩු වල අවයව ප්‍රචාරක කටයුතුවල යෙදිලා ඉන්නවා. එයාලා ඒවාට ලේසියෙන් රැවටෙන අයව අල්ලගන්නයි නිතරම බලන් ඉන්නේ. ශිෂ්‍යයන් වගේ අයගේ තරුණ මනස පහසුවෙන් එහා මෙහා යන්න පුළුවන් නිසා එයාලව ආරක්ෂා කරන්න ඕනේ. ඔයා ඒකට එකඟ වෙනවා නේද?”

“මගේ දෙමව්පියන් නං මට කියන්නේ ඇමරිකානු සහ ජපන් මාධ්‍යවලින් මං අහන හැම දෙයක්ම විශ්වාස කරන්න එපා කියලයි. මොකද, එයාලා කියනවා කියන්න ඕනෙ දේ මොනාද කියලා පාලනය කරන්නේ ඇමරිකානුවන් කියලා.”

“ඔව්, මම හිතන්නේ එයාලත් හරි කියලයි, යූයි. බොරුවලින් ඔයාව ආරක්ෂා කරන්න පුළුවන් බුද්ධිමත් වගේම ඔයා ගැන සැලකිලිමත් වෙන දෙමාපියන් ඔයාට ඉන්න එක වාසනාවක්. ඔයාගේ දෙමව්පියන්ට වගේම හැම ජපන් ජාතිකයෙකුටම අධිරාජ්‍යවාදීන් එක්ක සමීප සම්බන්ධතා එක්ක අත්දැකීම් තියනවා. ඒ නිසා එයාලා තමන්ගේ දරුවන්ට උපදෙස් දෙන්න සුදුසු තැනක ඉන්නවා. නමුත් සෝවියට් දෙමව්පියන්ට එහෙම සම්බන්ධතාවයක් නැහැ. මෙහිදී දී රජය අපි වෙනුවෙන් ඒ රාජකාරිය කරනවා, නමුත් ප්‍රතිඵලය දළ වශයෙන් සමානයි. ඔයා ඔයාගේ දෙමව්පියන්ගේ කැමැත්තට අනුව වැඩ කරන්නේ නැද්ද?”

“ඔහ්, මම එයාලට ඇහුම්කන් දෙනවා. මම දකින හරි කියවන හරි හැම දෙයක්ම ගන්නේ ලුණු ටිකක් හැන්දකින් ගන්නවා වගේ, ඔයා කරදර වෙන්න එපා… ”

“ඇත්ත ප්‍රකාශය ‘ලුණු කුඩු ස්වල්පයක්’ නේද?” නටාෂා ඇසුවේ සිනහ සෙමිනි.

“මම ජීවත් වන තැන නෙමෙයි, නටාල්යා, මම ඉන්න තැන නොවෙයි!” ඔවුන් දෙදෙනාම සිනාසෙන්නට පටන් ගත්හ. ඔවුන්ගේ මව්වරු පෙරදිග ආකාරයෙන් දෑත් පිටුපස තබාගෙන සිනාසෙන ගැහැණු ළමයින් දෙස බලා එකිනෙකාට සිනාසෙමින්, ඔවුන් දෙදෙනා ඉතා ඉක්මනින් කුළුපග වීම ගැන සතුටු වූහ.

මෙම පවුල් දෙක එම සවස් යාමයේ ඉතා පහසුවෙන් කතාබහ කළ අතර වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව යාමට කාලය පැමිණියේය. ගැහැණු ළමයින් දෙදෙනා රුසියානු චාරිත්‍රානුකූලව වැළඳ ගත් අතර එය පෙනුමෙන් අමුතු විය. නමුත් යූයිට එය හොඳ යැයි හැඟුණු අතර පසුව නටාෂා පාසැලේදී ඉගෙන ගත් ජපන් සම්ප්‍රදායට අනුව මඳක් නැමී දෙදෙනා ආචාර කලෝය.

ඔවුන් නිවසට පැමිණි විට නටාෂා තම මවගෙන්, ඇය ප්‍රසිද්ධියේ විමසීමට එඩිතර නොවූ කාරණය විමසුවාය. “යූයි සමහර වෙලාවලට මගේ කාමරයේ නිදා ගත්තාට කමක් නැද්ද අම්මේ?”

“ඇත්ත වශයෙන්ම කමක් නැහැ, එයාගේ අම්මලා ඒකට කැමති වෙනවා නම්. එහෙම අකමැති වෙන්න තරම් කිසිම හේතුවක් නම් තියෙන්න විදිහක් නැහැ.”

ඉතින්, ඊළඟ දින හය හා රාත්‍රිය තුළදී ගැහැනු ළමයින් දෙදෙනාව එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි විය. නටාෂාගේ කාමරයේ රාත්‍රි තුනක් සහ යූයි ගේ කාමරයේ රාත්‍රි තුනක් ලෙස ඔවුන් ගත කළෝය. හෝටලයේ ගතකල පළමු උදෑසන නටාෂා අවදි වූ පසු යූයි සහ ඇගේ මව සතුව තිබූ වේශ නිරූපණ කට්ටලය දැක විශ්මයට පත් විය.

“මේක අපිට තියනවාට වඩා හොඳ වේශ නිරූපණ කට්ටලයක්, යූයි, බලන්නකෝ මේකේ තෝරගන්න තියන දේවල්! මොන එක ගානවද කියලා තෝර ගන්න ඔයාගේ මනස හදා ගන්නේ කොහොමද? මම ඔයාට ඊර්ෂ්‍යා කරනවා. මම දුක්වෙනවා අපිට මේ වෙළඳ නාම මෙහෙ නැති එකට.”

යූයිට එය අවුල් සහගත හැඟීමක් වූ බැවින් ඇය “ටෂ්” යැයි කීවාය. ඇය එය නටාල්යාගේ පියාගෙන් ඉගෙනගත් නටාල්යාට ආමන්ත්‍රණය කරන වචනය වූ අතර එය පාවිච්චි කිරීමට කැමති වුවාය. “අපි දෙන්නා කොච්චර සමානද කියලා ඔයා දැකලා තියනවාද?”

"ඔව් මම දැකලා තියනවා. කොන්ඩෙයි, වචන උච්චාරණය කරන විදිහයි, ඉරියව් වගේ ප්‍රධාන වෙනස්කම් නම් අපිට හදා ගන්න පුළුවන්, ඒ වගේම මේ තියන වේශ නිරූපණ කට්ටලයෙන් අපේ මූනේ තියන සුළු සුළු වෙනස්කමුත් ලේසියෙන්ම හංගන්න පුළුවන්.”

“ටෂ්, අපි එහෙනම් පොඩ්ඩක් විනෝද වෙමුද? අපිට එකිනෙකා මෙන් පෙනී ඉඳලා අපේ දෙමව්පියන්ට අපිව වෙන් කරලා අඳුරගන්න පුලුවන් වෙයිද කියලා බලමුද! මොකක්ද ඔයා ඒ ගැන කියන්නේ?"

“ඔහ්, මම දන්නේ නැහැ… මම නම් මගේ කොණ්ඩේ ඔයාගේ වගේ කපන්නේ නැහැ, සමාවෙන්න. තරහක් නැහැ, නමුත් මම මගේ දිග කොණ්ඩෙට ආසයි… ඒක මේ විදිහට වවා ගන්න මට අවුරුදු දහඅටක් ගියා. ජපන් ගැහැනු ළමයි කොණ්ඩෙ කපන්නේ ඇයි?”

“නැහැ, ඔයා හරි, ඒක ලස්සනයි. මට ඉස්කෝලේ යනකොට ඒක කපන්න වුණා. නමුත් මම ලබන මාසයේ විශ්ව විද්‍යාලයට යන්න පටන් ගත්තාම කොණ්ඩේ වවන්නයි ඉන්නේ… මම දන්නවා, අපිට තොප්පි අඳින්න පුළුවන්නේ! මේ ළඟ කඩයක් තියනවාද අපිට ලාබෙට තොප්පි හරි කැප් හරි ගන්න පුළුවන්?”

“ඇත්තෙන්ම තියනවා! අල්මා අටා හරි ප්‍රසිද්ධයි ලාභ තොප්පි වලට” ඇය විහිළු කළාය. ඉතින්, ඔවුන් උදේ ආහාරය ගත් පසු, පක්ෂය මගින් සංවිධානය කර තිබූ, නමුත් ඔවුන් දෙදෙනාට යාමට අවශ්‍යතාවයක් නොතිබූ යුද ස්මාරකයක් නැරඹීමේ චාරිකාව මගහැර ඔවුන් සාප්පු සවාරි ගියෝය. ඔවුන් පැය කිහිපයකට පසු තමන් මිලදී ගත් භාණ්ඩ දැමූ බෑග් රැගෙන ආපසු පැමිණියහ. නමුත් එක් දෙයක් යූයිට තේරුම් ගියාය, එනම් භාණ්ඩ සඳහා මොනයම් ආකාරයකවත් තෝරා ගැනීමක් නොතිබූ බවයි. එය ඇත්තෙන්ම නටාෂා කිවූ තත්වයට වඩා නරක බව ඇයට වැටහුනාය.

මෙතරම් විශාල නගරයක තිබූ විශාලතම දෙපාර්තමේන්තු සාප්පුවක පවා අසතුටු දායක මට්ටමේ තිබූ වේශ නිරූපණ භාණ්ඩ කවුන්ටරය දැක ඇය කලකිරුනාය. ඔවුන් සතුව තද-රතු තොල් ආලේපන සහ ලා-රතු තොල් ආලේපන තිබුණත් තෙල් සහිත රසයෙන් හා මාළු සුවඳින් යුත්වූ එය ඇත්තෙන්ම අප්‍රසන්න විය. එලෙසම එහි නියපොතු ආලේපන ද තිබුණි. ඒවා රෝස හෝ පැහැදිළි වර්ණයන්ගෙන් පමණක් සමන්විත විය. නටාෂා තේරුම් කලේ පැහැදිලි වර්ණයේ නියපොතු ආලේපන මිලදී ගැනීමට සැමවිටම නොහැකි වන්නේ ආණ්ඩුවට රටෙහි ඇති හිඟ සම්පත් ප්‍රයෝජනයට ගැනීමේදී ප්‍රමුඛතාවය අනුව කටයුතු කල යුතු නිසා බවය. සාමාන්‍ය, දේශීය සාප්පු වල තේරීම ඊටත් වඩා නරක තත්වයක තිබිණි.

වලූටා සාප්පු වල තත්වයද හොඳ නොවීය - විදේශ මුදල් භාවිතා කරමින් පමණක් වෙළඳාම් කළ විශේෂ වෙළඳසැල් වලූටා නමින් හැදින්විණි. විදේශ මුදල් තමා සන්තකයේ තබා ගැනීම රුසියානුවන්ට නීති විරෝධී විය. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන්ද එය එසේම විය.

“ආයෙත් බඩු හිඟයන් තියනවා වගෙයි”, නටාෂා සමාව යදින ස්වරූපයකින් කිවූ නමුත් යූයි ට ඒ මොහොතේ තේරුම් ගියේ ඇයට සමාජවාදී හෝ කොමියුනිස්ට් රටක ජීවත් වීමට අවශ්‍යතාවයක් නොමැති බවය. කෙසේ වෙතත්, ඇය ආචාරශීලී, සංවේදී හා බුද්ධි ගෝචර වෙමින් ඇගේ නව හොඳම මිතුරියට පවා තම අදහස් ප්‍රකාශ කිරීමට මැලි වුවාය.

ඔවුන් සවස් කාලය ගත කළේ බොහෝ සිනාසෙමින්, ඇඳුම් අඳිමින් සහ ඔවුන් දෙදෙනාගේම දෙමුහුන් චරිත බවට පත්වීමෙනි. මිසුකි මහතා සහ මහත්මිය ඔවුන්ගේ සංචාරයෙන් ආපසු පැමිණි පසු, මුලින්ම ඔවුන් දුටුවේ නටාෂා ඇයගේ වෙස්වළාගත් ස්වරුපයෙන් රූපවාහිනිය නරඹමින් සිටින ආකාරයයි. නමුත් ඇය ඔවුන් දෙස හැරී නොබලා ‘හෙලෝ’, යනුවෙන් ඇයගේ හොඳම උච්චාරණය ශෙෙලිය අනුකරණය කරමින් පවසා සිටියාය.

“අලුත් ඇඳුම්, නේද ආදරණීය දුවේ? අලුත් නව වේශ නිරූපණයකුත්! ඔයා හරිම ලස්සනයි, යූයි!” ඇගේ මව ඇය ඇඳසිටි කබාය ගලවා එය එල්ලන ගමන් පැවසුවාය. “එයා ලස්සන නැද්ද, තාත්තේ?”

හිරෝටෝ එයට එකඟ වී පිළිතුරු දීමට ආසන්නව සිටි මොහොතේම යූයි ඇගේ නිදන කාමරයෙන් එළියට ආවාය.

“එයා එහෙම නේද අම්මේ?”

එම අවස්ථාවේදී, නටාෂා ඔවුන් දෙසට හැරී සිනාසුණු අතර මව්පියන් දෙදෙනාම දෙවරක් හුස්ම ගෙන, ඔවුන්ගේ මුඛයන් වීවෘතවී විස්මයට පත්වුහ.

“අම්මෝ ඒක අදහන්න බැරි දෙයක්! ඔයාලා දෙන්නා සමාන නිවුන් දරුවන් වගේ පේන්නේ! ගැහැනු ළමයින් දෙදෙනා එකිනෙකා සමීපයට ගොස් එකිනෙකාගේ උරහිස වටා දෑත් තබාගෙන කණ්නාඩිය තුලින් පෙර පුරුදු කළ සිනහවෙන් ඔවුන්ට සංග්‍රහ කළෝය. එවිට ඔවුන් සියල්ලෝම සිනාසෙන්නට පටන් ගත්හ.

“මට බැහැ, ඔයාල දෙන්නව වෙනම කියන්න මට බැහැ. දැන් උනත් මම දන්නවා… මට හිතෙනවා ඒක අද්භූත දෙයක් කියලා. සමහර විට මට ගොඩාක් බලයක් තියන කණ්නාඩි දෙකක් ඕනේ වෙයි වගේ”, හිරෝටෝ සිය ඇස් කණ්ණාඩි ගලවා ඒවා දෙස බලා සිටියද, එයින් කිසිදු වෙනසක් සිදු නොවීය.

නටාෂා ඇය මෙතෙක් පැළඳ සිටි කර්නාබි-වීදියේ නම්‍යශීලී තොප්පිය ගලවා දමා ඇගේ කොණ්ඩය කඩා වැටෙන්නට ඉඩ හැරියාය.

“මිසුකි මහත්මයා, දැන් ඔයාට ලේසිද?”

“ඒක බොරු කොණ්ඩයක් වෙන්න පුළුවන්” ඔහු සිනාසෙමින් විහිළු කළේය.

“අපි ඒ ගැන හිතුවේ නැහැ, එහෙම නේද?” යූයි නටාෂා දෙස බලා පිළිතුරු දුන්නාය.

සතියේ ඉතිරි කාලය තුළදී, ඔවුන් එකම වර්ගයේ ඇඳුම් පැළඳ නිවුන් දරුවන් ලෙස ක්‍රියා කරමින් තම කණ්ඩායමේ සෙසු මිනිසුන් විනෝදයට පත් කළහ. අවසාන රාත්‍රියේ සමුගැනීමේ ප්‍රසංගයේදී ඔවුන් ඉංග්‍රීසියෙන් ‘සහෝදරියන්’ නැමති යුගල ගීතය ගායනා කළෝය. බලා සිටි සියල්ලෝ මහත් ප්‍රීතිමත්ව අත්පොඩි ගසමින් සිනාසෙමින් ඒ බව ප්‍රකාශ කලෝය.

නටාෂා තම මව සහ අමුත්තන් සමඟ උතුරු කොරියාවට පියාසර කිරීම සඳහා විශේෂ අවසරයක් ඉල්ලා ලබා ගත් අතර, ඇයද යූයි මෙන් ම සැබෑ ගමනාන්තය ගැන අන් අයට නොකීමේ කූට උපායෙන් විනෝද වූවා ය. නමුත් ඇයගේ මව පසුගිය වසර කිහිපය තුළ එම උපායන්ගේ කොටසක් වී ඇති බව ඇය නොදැන සිටියාය.

යූයි නැවත බස් රථයෙන් හෝටලයට යාමට පෙර ඔවුන් බදාගෙන සිටියදී නටාෂා පැවසුවේ, “ඒ සතිය නම් හරිම ඉක්මනට ගියා, යූයි. ඔයාට දැන් මගේ ලිපිනය තියනවා නේද? ඔයා මට ලියනවාද? අපිට පෑනේ මිතුරන් වෙන්න පුළුවන්! අපි හම්බ උන නිසා දැන් ඉතින් එකිනෙකා එක්ක සම්බන්ධතාවය තියා ගන්න ඕනේ. අයෙත් ඔයාව දකින්නේ නැතුව, කතා කරන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා මට දරාගන්න බැහැ. මට හිතෙනවා ගොඩාක් කාලයක් තිස්සේ මට නැතිවෙලා හිටිය මගේම සහෝදරියක් මට ආයෙත් හම්බ වෙලා කියලා. ඔයාගේ විශ්ව විද්‍යාල ගමනට මගෙන් සුභ පැතුම්.”

යූයිගේ සංස්කෘතිය විසින් ඇයට හැඟීම් බරවීමට හෝ ඒ බව පෙන්වීමට ඉඩ හැරියාට වඩා නටාෂා බොහෝ හැඟීම්බර වූවාය. නමුත් ඇයට අවශ්‍ය වූයේ ඇගේ නව මිතුරිය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමටය. “අපේ නිවාඩුව ඉතා ඉක්මණින් ගෙවීලා ගියා… සහෝදරියන් ගැන ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා මම දන්නවා. ඒක විහිළු දනවන දෙයක්, අපි දෙන්නාට සහෝදර සහෝදරියන් නැහැ… එත් දැන් එක් කෙනෙක් හමුවීම සතුටක්… මම නැවත ටෝකියෝවට ගිය ගමන්ම ඔයාට ලියන්නම්!” ඇය පොරොන්දු වුවාය.

ඇය එසේ කළ අතර නටාෂා ද පිළිතුරු ලිපියක් හැරෙන තැපෑලෙන් එව්වාය. වසර පුරාම, ලිපි අතර පැය විසිහතරක විවේක කාලයක් නොතිබෙන තරම් වේගයකින් ඔවුන් එකිනෙකාට ලිවුවෝය.

සෝවියට් සමූහාණ්ඩුවේ ඒ කාලයේ කම්කරුවන් කළ රැකියාව කුමක් වුවත් වැටුප් තරමක් සමාන විය. මිනිසුන් අතර වෙනස් කමක් ඇතිකරනු ලැබුවේ ඔවුන් භුක්ති විඳින වරප්‍රසාදයන්හි ප්‍රමාණයයි. මරීනාට බොහෝ වරප්‍රසාද තිබුණි. ඇය සිය ඊළඟ ‘සංස්කෘතික මෙහෙවර’ සඳහා ජපානයට යන බව ප්‍රකාශයට පත් කළ විට, නටාෂා ඇයවද මේ ගමනට සහභාගී කරගන්නා මෙන් තම මවගෙන් අයැද සිටියාය. තම දියණියගේ පියාසැරිය සඳහා ගෙවීමට මරීනාට මුදල් නොතිබුණද, අවසානයේදී නටාෂා හට ජපානයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ලැබෙනු ඇතැයි යන පදනම මත, ඇයගේ ඉල්ලීම අනුමත කරන ලෙස ඇයගේ ඉහළ නිලධාරීන්ට ඒත්තු ගැන්වීමෙන් පසු අවසානයේදී ඒ සඳහා මුදල් ගෙවීමට පක්ෂය පොළඹවා ගැනීමට ඇය සමත් වුවාය. ජපානයේ ජනතාව සමඟ සාකච්ඡා කිරීමේදී නටාෂා තම සාර්ථක බව ඔප්පු කළහොත්, ඇය භාෂා කතා කළ වෙනත් රටවල සංචාරය කරන විටද කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතවරියක ලෙස ඇයව යොදා ගත හැකි බව ඇය පෙන්වා දුන්නාය.

අන්තිමේදී ගමන සඳහා අවසරය ලැබුණු අතර මව සහ දියණිය ටෝකියෝවට සියලු වියදම් ගෙවන චාරිකාවක් සඳහා පිටත් වූහ. මෙය ඉදිරියේදී නටාෂාගේ වාර්ෂික ගමනක් බවට පත්වූ අතර, එය දැනටමත් ඇගේ මව සඳහා ද්වි-වාර්ෂික සංචාරයක් විය.

1967 ඔක්තෝම්බර් මාසයේදී නටාෂා අල්මා අටා විශ්ව විද්‍යාලයට නිල වශයෙන් ඇතුලත් වූ අතර, ජපන් භාෂාව, ඉතිහාසය සහ සංස්කෘතිය ඇගේ ප්‍රධාන විෂය ධාරාව ලෙස තෝරා ගත් නමුත් ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජර්මානු භාෂාවන්ද ඇය හැදෑරීය. එම වසරේම සැප්තැම්බර් මාසයේදී යූයි රුසියානු, ඉංග්‍රීසි සහ චීන භාෂා ඉගෙනීමට පටන් ගත්තාය. මෙයින් අදහස් කළේ සෝවියට් රාජ්‍යය නටාෂාට දෙවන හා තෙවන වසරවල ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස තුනක් ජපානයේ අධ්‍යාපනය ලැබීම සඳහා වියදම් කරන බවත් ජපාන රජය යූයිට ඇගේ දෙවන හා තෙවන වසරවල ගිම්හානයේදී රුසියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා වියදම් කරන බවයි.

ඔවුන් දෙදෙනා නිවුන් දරුවන් මෙන් එකිනෙකාට සමීප වූ අතර සමාන හැසිරීම් රටාවන් සහ කතා කිරීමේ ශෛලියයන් පවා අනුගමනය කළහ. නටාෂාට යූයිගේ ජපන් උච්චාරණය අනුකරණය කිරීමේ කිසිදු අපහසුවක් නොවූ අතර යූයි විසින් නටාෂාගේ රුසියානු අනුකරණය කිරීමද සැබෑ ලෙසම කල අතර, ඔවුන් දෙදෙනාම ඉංග්‍රීසි වෙනස් ලෙස උච්චාරනය කරමින් කථා කළහ - එක් අයෙක් ඉංග්‍රීසි සහ අනෙක් කෙනා ඇමරිකානු ඉංග්‍රීසි ලෙස. නටාෂා ඇත්ත වශයෙන්ම ඇමරිකානු උච්චාරණයට අකමැති වූ අතර ඇයට අවශ්‍ය නම් එය කළ හැකි වුවද එය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළාය. නමුත් යූයි හට, මුලින්ම ඇමරිකානු උච්චාරණය ඉගෙන ගන්නා සියල්ලන්ටම සිද්ධ වෙන්නාක් මෙන් සැබෑ ඉංග්‍රීසි උච්චාරණයක් ලබා ගැනීමට නොහැකි විය.

එම ආරම්භක රැස්වීමෙන් පසු සෑම වසරකම සති දෙකත් සහ මාස පහත් අතර කාලයක් ඔවුන් එකට සිටි අතර, ඒ හැම මොහොතකම ඔවුන් මිතුරන් දෙදෙනෙකුට වඩා, වෙන් කළ නොහැකි ඉතා සමීප නිවුන් දරුවන් මෙන් හැසිරුණහ. ඇත්ත වශයෙන්ම, ඔවුන් එකට සිටීම කෙතරම් ස්වාභාවිකද යත්, ඔවුන්ව සමාජයේදී මුණගැසුණු කිහිප දෙනෙකු ඔවුන් නිවුන් දරුවන් නොවන බව දැනගත් අතර ඔවුන්ද එය කිසි විටෙකත් ප්‍රතික්ෂේප නොකළෝය. මන්ද, ඔවුන් දෙදෙනා අතර තිබූ සම්බන්ධතාවය ඔවුන් එකිනෙකාට සහ ඔවුන්ගේ දෙමව්පියන් සමඟ විස්තර කලේ, ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සිතුවිලි වලින්ද ආත්මීය-නිවුන් දරුවන් ලෙසටය.

5 යූරි ව්ලැඩිමිරොවිච් ඇන්ඩ්‍රොපොව්

ගැහැනු ළමයින් දෙදෙනාම ඔවුන්ගේ අවසන් මහා විභාග සමත් වූයේ, ඔවුන්ට ලබාගත හැකි ඉහලම සම්මාන සාමාර්ථ සමගිනි. ඇත්තෙන්ම ඔවුන් දෙදෙනාටම බටහිර රටවල 'මැක්සිමා කම් ලෝඩ්' ලෙස හැඳින්වවෙන එනම්, දීප්තිමත් සිසුන්ගේ උපාධියක් සඳහා සඳහා කලාතුරකින් භාවිතා කරන ගෞරවයක් සමග සමත් වූහ. ඔවුන් දෙදෙනාට එකට සිටිය නොහැකිවූ, ඔවුන්ගේ පවුල්, මිතුරන් සහ සෙසු ශිෂ්‍යයන් සමඟ සති දෙකක් පුරා පැවැති සැමරුම් කාලයකින් පසුව, ඔවුන්ව සැබෑ ලෝකයට යවන ලද්දේ තම ජීවිකාව උපයා ගැනීම සඳහා ය.

කෙසේ වෙතත්, ඉරණම නැවතත් ඔවුන්ට එක හා සමාන ආකාරයකින් සැලකුවේය. ඇගේ ප්‍රතිඵල මත පදනම්ව ඇගේ පියාගේ අල්ලස් දීම මත යූයිට මුදල් අමාත්‍යාංශයේ තනතුරක් හිමි වූ අතර, නටාෂාට ඇගේ පැරණි උසස් පාසලේ ගුරුවරයෙකු ලෙස රැකියාව ලැබුනේ රැකියා දෙපාර්තමේන්තුව විසින් ඇයගේ විශිෂ්ට භාෂා කුසලතා ප්‍රයෝජනයට ගතහැකි සුදුසු රැකියාවක් පසුව ලබා දෙන තුරුය. ඇගේ නව රැකියාවට ගොස් මාස දෙකකට පසු යූයි ‘අගෝස්තු කසක් චාරිකාව’ සඳහා සති දෙකක නිවාඩුවක් ඉල්ලුම් කළාය. ඇයට එය ලබා නොදීමට ඔවුන් තීරණය කලද ඇයගේ දෙමව්පියන්ගේ මැදිහත්වීමත් ඔවුන් ‘සෑම විටම අගෝස්තු මාසයේදී පිටත්ව ගිය’ බව සාක්ෂි සහිතව පෙන්වීම නිසා ඇයට ගමන සඳහා නිවාඩු අනුමත විය. හිරෝටෝ ද සිය දෙපාර්තමේන්තුව තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කළහැකි උසස් ස්ථානයකට මේ වනවිට පැමිණ සිටියේය.

“ඕහ්, ටෂ්, ඔයාව ආයෙත් දකින්න ලැබුන එක හරිම සුන්දරයි! ඔයාට කොහොමද, ඩාලිං?” ඇය උතුරු කොරියානු හමුදා ගුවන්තොටුපලේ ධාවන පථය මත නටාෂා ව බදාගෙන ඇසුවාය. තම කුළුපග යහළුවන් බදාගෙන සිප ගැනීම සහ ‘ඩාලිං’ ලෙස ආමන්ත්‍රණය ඇය විශ්ව විද්‍යාලයේදී ලත් බලපෑම් අතර විය.

"මට හොඳයි, සහෝදරිය, ඔයාව දකින්න ලැබීම සතුටක්, නමුත් ඔයා දුකෙන් ඉන්නවා වගෙයි, මොකක්ද ප්‍රශ්නය?"

“මට දැන් ඔයාට ඒක ගැන කියන්න බැහැ. අපි සතුටින් ඉන්න උත්සාහ කරමු. ඔයා එනකොට ඒ ගුවන් යානයෙන් බොන්න මොනවා හරි ලැබුනාද? මට නම් සීතල බියර් වීදුරුවකට හරි වයින් වීදුරුවකට හරි කාව හරි මරලා දාන්න උනත් පුළුවන්!” නටාෂා විශ්ව විද්‍යාලයේ බියර් පානය කිරීමට ද ඉගෙන ගෙන තිබූ අතර, ඒ නිසා ඔවුන් එකට යානයේ වාඩි වී, බියර් පානය කරමින්, අල්මා අටා හි ගොඩ බසිනතුරු එකිනෙකාගේ ජීවිත ගැන අල්ලාප සල්ලාපයේ යෙදුනාහ.

එදින සවස ඔවුන් නැවත කතා කළහ. “ඔයා තාමත් දුකෙන් ඉන්නේ, සහෝදරිය. ඔයාගේ ගැටලුව ගැන ඔයා මට කියන්නේ නැත්තේ ඇයි? අපි කවදාවත් එක් එක් කෙනාගෙන් කිසිම දෙයක් හංගගෙන ඉඳලා නැහැනේ.”

“නැහැ ඒක කිසිම වැදගත් දෙයක් නෙමෙයි, ඇත්තටම... මම මෝඩයෙක්… කළගුණ නොදන්නා කෙනෙක්, ඒ නිසා මම මටම වෛර කර ගන්නවා… ඒක මගේ රස්සාව, ඩාලිං, එච්චරයි. කියන්න තරම් ම වරදක් නැහැ. ඔයා දන්න විදිහට මම මාස දෙකක් එතන වැඩ කරනවා. එත් දැනටමත් අවුරුදු දෙකක විතර කාලයක් වැඩ කරා වගෙයි මට තේරෙන්නේ. කිසිම විවේකයක් නැහැ. ටිකක් හිතලා බලන්න, මගේ දෙමව්පියන් ඒක කරනවා…” ඇය ඇගේ ඇඟිලි නමමින් ගණන් කිරීමට පටන් ගත්තාය. “මට දැන් වයස විසි-දෙකක්, මගේ තාත්තා යුද්ධයට ඉස්සෙල්ලා ඒක කරා, ඉතින් ඒක… ඒක අඩුම ගානේ අවුරුදු තිස් දෙකක්, මගේ අම්මා ටිකක් අඩු කාලයක්. ඒක මනසට මහා කම්මැලියි, ටෂ්! අපි දවස පුරා කරන්නේ ගණන් එකතු කරන එකයි, ගණන් අඩු කරන එකයි, ගණන් බෙදන එකයි, ගණන් වැඩි කරන එකයි, ආයේ ගණන් පරික්ෂා කරන එකයි විතරයි. මුළු මගුල් දවස පුරාම!”

“ඔයාට ඒක හිතා ගන්න පුලුවන්ද? ඒක මාව පිස්සු හදවනවා!”

"නෑ සහෝදරිය, මට හිතාගන්න බැහැ, නමුත් ඔයත් මම වගේම භාෂාවන් තෝරගෙන තියෙනවානේ. ඉතින් ඇයි ඔයා ඔය වගේ වැඩක් කරන්නේ?"

“ඔයා ලොකු තැනක ඉන්න කාවවත් දන්නේ නැත්නම්, ජපානයේ හොඳ රැකියාවක් ලබා ගන්න එක හරිම අමාරුයි. අනික මගේ තාත්තා අම්මා ඉන්නේ මුදල් අංශයේ නේ.”

“ඔව්, මට තේරෙනවා… ඔයාට බැරිද වෙන දෙපාර්තමේන්තුවකට මාරුවක් ගන්න?”

“ඔව්, සමහර විටක, ඒක සැලැස්මේ කොටසක් තමයි. නමුත් ඉස්සෙල්ලා, මම මුදල් අමාත්‍යාංශයේ අවුරුද්දක් වැඩ කරන්න ඕනේ. මම හිතන්නේ තාත්තා එහෙම කිව්වා. එතකොට මට විදේශ කටයුතු කාර්යාලයටත්, අන්තිමේදී රාජ්‍ය තාන්ත්‍රික බලකායටත් ඉල්ලුම් කරන්න පුළුවන්.”

“ඉතින් හොඳයි නේ, ඒක එච්චර භයානක නැහැ නේද? ඔයා දැනටත් මාස දෙකක් ඉවර කරලානේ ඉන්නේ, ඉතින් ඔයාට තව මාස දහයයි නේ තියෙන්නේ. ධෙෙර්යවත් වෙන්න සහෝදරිය.”

“මමත් එහෙම තමයි හිතන්නේ, නමුත් තව මාස දහයකට පස්සේ, විදේශ කටයුතු කාර්යාලයට බඳවා ගැනීමේ මණ්ඩලය පුදුමයට පත් කරන්න තරම් මොළයක් මට තියෙන එකක් නැතිවෙයි.”

නටාෂා සිනාසුණාය. “ඔයාගේ දෙමවුපියන් මෝඩ නැහැ, ඔයත් නැහැ. ඔයා ඒක කරයි, අනික මම හොඳටම දන්නවා ඔයා ඒක කොහොම හරි කරනවා කියලා… ඔයාගේ ඉලක්කය දිහාවට ඔයාගේ ඇස් තියාගෙන, දවසක් ගානේ ගත කරන්න. ඊළඟ අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඔක්කොම ඉක්මනට හරි ගිහින්, ඔයා ඒ කාරණයට මෙච්චර කලබල වුනේ ඇයි කියලත් කල්පනා කරයි.”

“ඔව්, නමුත් ඒක ප්‍රශ්නයේ කොටසක්… ඔයාට පේනවනේ, ඒක විතරක් නෙමේ, සහෝ,” ඇය පැවසුවේ ‘ඩාලිං’ යන වචනය වෙනුවට නටාෂා භාවිතා කරන ‘සහෝදරිය’ යන්න කෙටි කර ගනිමිනි. “මට ජපානයේ ඉන්න ඕනේ නැහැ. අපිට දැනට තියන හැම දෙයක්ම මම දන්න දේවල්, නමුත් ඒක මගේ රට කියලා මට දැනෙන්නේ නැහැ… ඒක විස්තර කරන්නේ කොහොමද කියලා මටතේරෙන්නේ නැහැ. නමුත් ජපානයේ ඕනෑවට වඩා ‘බටහිර’ දේවල් තියනවා. මේ 'මිශ්‍රණය' හරි කියලා තාම දැනෙන්නේ නැහැ… මට බටහිරට විරුද්ධව කිසිම තරහක් නැහැ, ඇත්ත වශයෙන්ම මම එහේ - එක්සත් රාජධානිය, කැනඩාව හරි එක්සත් ජනපදය- ජීවත් වෙන්න අකමැත්තක් නැහැ. නමුත් අපේ දෙමුහුන් ක්‍රමය කියන්නේ අර්, අර්, අර්, කිසිම දෙයක් නැහැ! ඒක ආසියානුත් නෙමෙයි, ඒක ඇමරිකානුත් නෙමෙයි. ඒක හරි, මම හිතනවා, නමුත් ඒක බොරුවක්… මම ඒකට වෛර කරනවා.”

"ඔයා ගොඩක් වෙලාවට එහෙ ඉඳලා තියනවානේ, ඔයා ඒ ගැන මොකක්ද හිතන්නේ?"

ඔවුන්ගේ පළමු මුණගැසීමෙන් පසු වසර හතරක් පුරාවට ඔවුන් එකිනෙකාව හොඳින් දැන සිටි අතර දෙදෙනාටම එකිනෙකා සමඟ අවංක විය හැකි පරිසරයක් තිබුණි.

“මට එහෙ ජීවත් වෙන්න ඕනේ නැහැ, සහෝදරිය. මම අවංකව කථා කරනවා නම්, මම හිතනවා ඇමරිකානුවන් ඔයාලගේ සංස්කෘතිය වගේම ඔයාලගේ රටේ කාන්තාවනුත් දූෂණය කරලා තියෙන්නේ කියලා. එයාලා හරියට කොවුලෙක් වගේ ක්‍රියා කරලා, ඔයාලගේ සංස්කෘතියට ඒ ගොල්ලන්ගේ සංස්කෘතිය ආදේශ කරන්නයි හදන්නේ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ආපු දෙමුහුන් සංස්කෘතිය ඔයා කියන විදිහට සතුටුදායක එකක් නෙමෙයි. එයාලා ඔයාගේ රටේ කම්කරුවන්ව විවෘතව සූරාකනවා, නැත්නම් එයාලා ඒක කරන්නේ ඔයාලගේ දූෂිත පුරාණ පාලක පන්තියේ ධනවත්, අධිරාජ්‍යවාදී පවුල්වල කෑදර සහයෝගීතාවය උදවු කරගෙනයි.”

“සමස්තයක් වශයෙන් ගත්තහම, ඔයාලා ඇමරිකාවේ කනගාටුදායක, දූෂිත වෙච්ච කොපියක්. වෙනස ඇවිල්ලා ඇමරිකානු අයට එයාලගේ ආර්ථිකයෙන් ලැබෙන ප්‍රතිලාභ ඔයාලගේ පුරවැසියන්ට ලැබෙන්නේ නැති එකයි. මම දකින විදිහට, ඔයාගේ රට ආසියාවේ එයාලගේ හොරකම් කරපු අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා ගුවන් යානා ගෙන යන නෞකාවක් වගේ දෙයක් මිස වෙන කිසිවක් නෙමෙයි.”

“ඔව්, හොඳයි, ඒක මමත් අනුමාන කරලා හිතන දෙයට සමානයි. නමුත් මට ඒක වෙනස් කරන්න පුළුවන් කියන මිත්‍යාවට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා මට හිතෙනවා මෙහෙන් පිටත් වෙලා ගිහින් පොහොසත් රටක ජීවත් වෙන්න, ගොඩාක් සල්ලි හම්බ කරන්න, මට ඕනේ විදිහට මගේ ජීවිතය ගත කරන්න.”

“පරීක්ෂාව කියන දේ හරි විශාලයි, සහෝදරිය, මම ඒක දන්නවා, නමුත් ඒක මට වඩා ඔයාට විශාලයි. පංති අරගලය ගැන මම විශ්වාස කරනවා, කම්කරුවන් අවසානයේ ජයග්‍රහණය කරනවා කියලත් මම දන්නවා. මොකද අපි බහුතරයක් ඉන්න නිසයි, ධනවත් අයට අපි නැතුව ධනවත් වෙන්න බැරි නිසයි. අපි නිෂ්පාදනය කරන්නේ නැත්තම්, එයාලට විකුණන්න බැරි වෙනවා, ඒ නිසා අපි ඉහළ තලයක තමයි ඉන්නේ.”

399
477,84 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
27 августа 2021
Объем:
300 стр.
ISBN:
9788835427223
Переводчик:
Правообладатель:
Tektime S.r.l.s.
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают