Читать книгу: «ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා», страница 2

Шрифт:

පාර අයිනේ පිහිටා තිබූ කුඩා කන්දකට නැගීමට ඔහු ඇයට උදව් කළ අතර ඔවුහු එහි වාඩි වූහ. ඇය වටපිට බැලූවේ ඇගේ ඇඳුම් අතර සඟවා තිබූ කුඩා පාර්සලයක් එලියට ගැනීමට පෙර කිසිවෙකු බලා සිටිනවාද යන්න දැන ගැනීමටයි.

“අපිට ඊයේ බත් ටිකක් තියෙනවා, මගේ ආදරය, ඒ වගේම අන්තිම මාළු ටින් එක. ඔයාට ඔතන ඉඳන් මොනාවත් පේනවාද?”

“නෑ, ඇත්තටම නෑ… මට විශ්වාස නෑ, උදේ මීදුම, ඔයා දන්නවා නේ? එන්න, මෙතෙන්ට එන්න, සූර්යයා ඒක උණුසුම් කලොත්, ඒක ඉක්මනින් ඉවත් වෙලා යයි, එතකොට අපිට යාන්තමට හරි පෙනෙයි.”

සුසුමේ පස් කන්ද මුදුනේ දකුණු පැත්තට ගොස් වාඩි විය. හිරෝටෝ ඔහුගේ ඔරලෝසුව දෙස බැලීය.

“හ්ම්, අටයි දහයයි, තාත්තා දැන් අත් උදවු දෙන අයට කෑගහනවා ඇති එයාලා හරිම කම්මැලියි කියලා. අම්මා මේ වෙලාවට කෑම උය උය, පිරිසිඳු කර කර සේවිකාවට බණිනවා ඇති එයාගේ අපිළිවෙල ගැන. සමහර දේවල් කිසි වෙලාවක වෙනස් වෙන්නේ නැහැ, එහෙම නේද, වස්තුව, සියලු කරදර මැද්දේ උනත්, ජීවිතය තවමත් පැවතෙනවා නේද?”

ඇය බත් වලට උඩින් මාළු තීබු බඳුන හිස් කර ඔවුන් දෙදෙනා අතරින් තණකොළ මත ඇතිරූ රෙද්දක් මත තැබුවාය.

“කන්න” ඇය කීවාය. හිරෝටෝ මාළු හා බත් වලින් කුඩා කොටසක් ඔහුගේ චොප්ස්ටික්ස් මගින් ගනිද්දී ඔහුගේ බිරිඳ “ඒක දිහා බලන්නකෝ, හිරෝටෝ, ඒක මොකක් වෙන්න පුලුවන්ද? ඒක හරිම භයානකයි” යයි පැවසුවාය.

“මොකක් ගැනද ඔයා කියන්නේ, මගේ ආදරය?” ඔහු උඩ බලමින් ඇහුවේය. හත්තක හැඩය ගත් විශාල වලාකුළක්, ක්‍රම ක්‍රමයෙන් විශාල වන කන්දක් මෙන් ඔවුන් ඉදිරියේ තිබෙනු දුටු හිරෝටෝ ගේ මුඛය ඉබේටම මෙන් විවෘත විය. ඔවුන්ට සහජයෙන්ම ලැබී තිබුණු බිය නැමති හැඟීම නිසා එකිනෙකා වැළඳ ගත් අතර එමගින් ක්ෂනිකව පැමිණි දැඩි විදුලි ආලෝකයෙන් ඔවුන් බේරුණු නමුදු දෙවෙනුව පැමිණි සුළඟින් බේරීමට ඔවුනට නොහැකි විය. පළමුවෙන්ම, ආහාරය දමා තිබූ තාවකාලික පිඟාන ආහාරද සමග ගසාගෙන ගිය අතර, දෙවෙනුව එහි බලයෙන් නව යුවළ පස් කන්දෙහි උතුරු බෑවුමෙන් පසුපසට පෙරළී ගියෝය. ඔවුන් පාර අසල තිබූ වාරිමාර්ග අගලේ ගඳ ගසන ජලය මතට පෙරළී ගිය නමුත් එයින් ඔවුන්ගේ ජීවිත බේරුනි.

ඔවුන් පෙරළෙමින් බිම ඇද වැටෙද්දී ඔවුන් සමග සිටි සෙසු සංචාරකයින්ද සුළගින් උඩට විසිවෙමින් බිමට වැටෙන අයුරු යාන්තමින් දුටුවෝය. ඔවුන් දෙදෙනා ඉතා වාසනාවන්ත විය, කැඩුණු ලී කැබලි, උණ බම්බු සහ කුඩා පාෂාණ කැබලි තවමත් සිටගෙන සිටින අය මතට වෙඩි වරුසාවන් ලෙස පැමිණුනි. ඔවුන් වැඩි වේලාවක් ඔවුන්ගේ දෙපයින් නැගී නොසිටි අතර සුළඟ පවා, නිරයෙන් පලා යන බවක් පෙන්නුම් කරමින් උණුසුම්, දරුණු, ශක්තිමත් සහ කෝපයෙන් හමා ගියේය.

ස්වල්ප මොහොතකින් එය අවසන් විය... බියකරු නිශ්ශබ්දතාවයක් මොහොතකට, එනම්, ඔබේ හිස ඔසවා සිදුවූයේ කුමක්දැයි කල්පනා කර විනාශය දෙස බැලීමට තරම් සෑහෙන මොහොතකට, රජ විය. එවිට සුළඟ, එය ගිය තැනින් ආපසු පැමිණියේය, නමුත් ගිය සියල්ල ආපසු පැමිණියේ නැත… එය අඩු දරුණු කමකින්, අඩු උණුසුම් බවකින් හා අඩු කෝපයකින් යුතු විය, එය සිදු කළ විනාශය ගැන ලැජ්ජාවට පත් වූවාක් මෙන් අඩු ශක්තියකින් හැමීය.

ඔවුන්ගේ කන්වල දෝංකාරය පහව යත්ම, පාරේ වැතිර සිටින හෝ ඉලක්කයක් රහිතව ඇවිදින මිනිසුන්ගේ වේදනාව හා බියජනක කෑගැසීම් ඔවුන්ට ඇසුණි. සමහරු නිරුවතින් සිටි අතර තවත් සමහරු ඇඳ සිටියේ වැරහැලි පමණි. ක්‍රීඩා මණ්ඩපයක ක්‍රීඩා කර සිටින ස්පාඤ්ඤ හරකුන්ගේ මෙන් බොහෝ දෙනෙකුගේ ශරීරයන් තුලින් පොලු හෝ කෝටු කැබලි එලියට පැමිණ තිබුන අතර ඒවායින් සිදුවී තිබූ තුවාලද මහත් විය. තවත් සමහරු අන්ධ වූහ... ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අන්ධ බවට පත්වූහ. ඔවුන් එකිනෙකා හා ගැටෙමින්, පාර දිගේ තිබූ වළවල් වල වැටෙමින්, පණ නැති හෝ නැගිටින්නට අසීරු වූ මිනිස් සිරුරු මතින් පැටලෙමින් ගමන් කලෝය.

සුසුමේ දෑස් විවර කර කෑගැසුවාය. කිසියම් ස්ථාවර බවක් ලබා ගැනීමට ඇය මෙතෙක් එල්ලී සිටි දෙයින් ඇය තම මාපටැඟිල්ල ඉවත් කර ගත්තාය - ඒ දින ගණනකට පෙර මියගියාවූ මළ සිරුරක විවෘතවූ මුඛය විය. ඔවුන් වැටුණු අගලේ මෙතෙක් වැටී තිබූ මළ සිරුරු අනාවරණය වූයේ එහි ජලය ගසාගෙන ගොස් හෝ වාෂ්ප වී හෝ ගොස් තිබූ නිසාය. ඇයගේ අනෙක් අත හිරෝටෝ වටා තිබූ අතර, ඔහු ඇයව ඔහුගේ දෑතින් ඔසවා පස් කන්ද මුදුනට ගෙන ගියේය. මුලදී ඉතා පරිස්සම් සහිතව ගෙනගියත්, ඒ වනවිට කුණාටුව පහව ගොස් ඇති බවක් පෙනෙන්නට තිබූ නිසා පසුව ඉක්මනිනුත් ගෙන ගියේය. ඇය කම්පනයට පත්වී වෙව්ලන්නට වූවාය. නමුත් ඇය සමඟ කතා කිරීම හැර ඔහුට කළ හැකි වෙන කිසිවක් නොතිබුණි.

“මො… මො… මොන වගේ යක්ෂයෙක්ද, හිරෝටෝ ඒ?” ඇය ගොතගසමින්, තම දෑස් පීරිසි මෙන් විශාල කරගනිමින් ඇසුවාය.

“මම දන්නේ නැහැ, මගේ වස්තුව. සමහර විට ආයුධ කම්හලක් පුපුරලා යන්න ඇති - කඩාකප්පල් කිරීමක්, බෝම්බ හෙලීමක් හරි හදිසි අනතුරක් හරි. දැන් ඒ ගැන කරදර වෙන්න එපා. වතුර ටිකක් බොන්න”. ඔහු තම ඇඳුමේ ඇතුළත තිබූ ෆ්ලාස්කය ගෙන ඇගේ තොල් මත තබාගෙන සිටියේ, ඇය තණකොළ මත ඇගේ මාපටැඟිල්ලෙන් ‍මනඃකල්පිත කුණු මස් කැබලි පිරිසිදු කරමින් සිටියදීය.

“මගේ අත මොකකද තිබුනේ කියලා ඔයා දැක්කාද?”

“මගේ ආදරණීය කෙල්ලේ, ඒ ගැන හිතන්න උත්සාහ කරන්න එපා”, ඔහු ඇගේ මාපටැඟිල්ලට වතුර බින්දු කිහිපයක් දමා එය වියළීම සඳහා ඔහුගේ ඇඳුම්වල ඇතිල්ලුවේය. “අපි ටිකක් විවේක ගමු, එතකොට අපිට මේ දුක්ඛිත, භයානක මිනිසුන්ගෙන් අයින් වෙලා අපේ ගමන යන්න පුළුවන්.”

ඇත්තෙන්ම, නැගීට සිටිය හැකි අය ඒ වන විටත් ඔවුන් දෙදෙනා සිටි දිශාවට හැර අනෙක් සෑම දිශාවකටම ඉබාගාතේ ඇවිදිමින් සිටි අතර, තවත් සමහරු බිම ඇද වැටෙන තුරු ඇවිද ළදරුවන් මෙන් හඬමින් සිටියහ.

පැයකට පමණ පසු, දකුණු දෙසට ගමන් කරන මගීන්ට මාර්ගය පැහැදිලිව පෙනෙන්නට ගත් අතර දකුණේ සිට ගමනාගමනය වැඩි වීමට පටන් ගෙන තිබුණි. ඇවිදින්නවුන් බොහෝ නොවුනත්, ඔවුන් සියලු දෙනා ඉතා කණගාටුදායක තත්වයේ සිටි අතර, කාර් සහ බස් රථ කිහිපයක්ද මාර්ගයේ ගමන් කෙරිණි. ඉන් සමහරක් තවමත් මාර්ගයේ වැටී සිටින මිනිසුන්, ඔවුන් ජීවත්ව හෝ මියගොස් හෝ සිටියද, වළක්වා ගනිමින් ගමන් කිරීමට උත්සාහ කරමින් සිටියහ.

“මෙතන ඉන්න, සුසුමේ, මම මොකද උනේ කියලා හොයාගෙන එන්නම්. මේක ගන්න”, ඔහු පැවසුවේ තම නිවසේ ආරක්ෂාව සඳහා තිබූ වර්ග 14, වෙඩි 8 කින් යුත් ‘නම්බු’ නමැති අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලය ඇයට භාරදෙමිනි. “මම ඔයාට පේන මානයේ තමයි ඉන්නේ, මට ඕනේ වෙන්නේ මෝටර් රථයක් නවත්තලා අර වලාකුළ මොකක්ද කියලා අහන්නයි.”

“අනේ කරුණාකරලා, ගොඩක් වෙලා ගන්න එපා, මම මේ තැනට කැමති නැහැ. කමී දෙවඟන මෙහෙ ඉන්නේ හරි තරහෙන්, ඒ වගේම හරිම බලවත්. ඉක්මන් කරන්න.”

"මම එනවා ඉක්මනටම, මගේ ආදරය, ඒ ගැන කරදර වෙන්න එපා, නමුත් මට දැනගන්න ඕනේ... මගේ දෙමව්පියන්... ඔයාට තේරෙනවා නේද?"

ඇය එය තේරුම් ගිය බව අඟවා, ඔහුට ඇයව හැරදමා ස්වල්ප මොහොතකට ඉවත්ව යා යුතු බව පිළිගත්තාය.

පාරේ වැටී තිබුණු මළ සිරුරු නිසා උතුරට යන වාහන වේගයෙන් ගමන් නොකළ අතර සමහර ඒවා යාර කිහිපයෙන් කිහිපයට වැටී තිබූ මොළයන් සහ බඩවැල් කොටස් නිසා ඇතිවූ තදබදයටද ලක් විය. කෙසේ වෙතත්, ඔහු සමඟ කතා කිරීම සඳහා නතර කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීය. අවසානයේදී, හමුදා නිලධාරියෙක් වාහනය නවතා, ඔහුගේ ජනේලය පහත් කොට, තම තුවක්කුව හිරෝටෝ වෙත එල්ල කළේය.

ඔහු භීතියට පත් තරුණයෙක් විය, නමුත් ඔහුගෙන් විද්‍යාමාන වූයේ ඔහු මවාපාමින් සිටි නිලධාරියා නොවේ. ඔහු සතුව නිලධාරියෙකුගේ පිස්තෝලයක්, එනම් හීරෝටෝ සතුව තිබූ නම්බු වර්ගයේ පිස්තෝලයක්, සහ ඔහුගේ හිස මත ලුතිනන් වරයෙකුගේ තොප්පියක් තිබූ නමුදු ඔහු ඇඳ සිටියේ සාමාන්‍ය සොල්දාදුවෙකුගේ නිල ඇඳුමකි.

“කිසිම දේකට උත්සාහ කරන්න එපා”, ඔහු නියෝග කළේය, “මම මේක පාවිච්චි කරන්න බය නැහැ, ඔයා දන්නවාද?”

“ඔව්, මට විශ්වාසයි ඔයා බය නැහැ කියලා. මම තවත් ළං වෙන්නේ නැහැ. මම නිරායුධවයි ඉන්නේ. මට දැනගන්න ඕනෙ මොකක්ද උනේ කියලා. මගේ දෙමාපියන් පදිංචි වෙලා ඉන්නේ එහේ…”

“එයාලා තවදුරටත් එහේ ඉන්නවාද කියලා මට සැකයි, සර්. කිසිම කෙනෙකු එහෙ ජීවතුන් අතර නැහැ… මුළු හිරෝෂිමා වම අතුරුදහන් වෙලා… සැතපුම් පිට සැතපුම් ගණන් කිසිම දෙයක් නැහැ… කිසිම දෙයක් නැහැ, අළු සහ දුම හා මළ සිරුරු විතරයි… මෙහෙ තියනවාටත් වඩා!” ඔහුගේ පිස්තෝලය වනමින් පාරේ තිබු මළමිනී පෙන්වා ඔහු පැවසීය. “එහෙට සාපේක්ෂව මෙතන දරුවන්ගේ විනෝද චාරිකාවක් ගිය තැනක් වගෙයි නේ.”

“මොකක්ද වුනේ? ආයුධ කම්හලක් හරි වෙඩි උණ්ඩ ගබඩාවක් හරි පුපුරලා ගියාද?”

“මම දන්නේ නැහැ, පුපුරලා යන බෝම්බයකින් ඒ වගේ වලාකුළක් හැදෙයි කියලා හරි ගොඩාක් මිනිස්සු මැරෙයි කියලා හරි මම කවදාවත් දැකලා නැහැ. ඒක මොන වගේ දෙයකින් උනත් ඒක හරිම කුරිරුයි, ඒ වගේම ඒක හදපු පුද්ගලයාත් එහෙමයි.”

“කිසීම දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා ඔයාට විශ්වාසද?”

“නගරයෙන් පිට සැතපුම් විස්සක් විතර යනකම් කිසිම දෙයක් නැහැ, සර්, දැන් මම යන්න ඕනේ. වාසනාවක් වේවා, සර්!”

“ඉන්න ... ඉන්න, මගේ බිරිඳටයි මටයි ඔයත් එක්ක එන්න පුළුවන්ද? අපි ජීවත් වන්නේ ටෝකියෝවල… අපි මගේ බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසට ගියාම ඔයාට මුදල් ලබා දෙන්න පුළුවන්… අපි මෙහෙට ආවේ හිරෝෂිමා නගරයෙන් පිට ජීවත් වෙන…ජීවත්වුණු මගේම දෙමව්පියන් බලන්නයි.” ඔහු තම බිරිඳ දෙස බලා ඇයට එන ලෙසට සංඥා කල අතර ඇය කන්ද දිගේ රූටා පහලට පැමිණියාය. “දැන් ඉස්සරහට යන එකේ වැඩි තේරුමක් නම් නැහැ, අපි දැනට දවස් දහයක් හරි එකොළහක් හරි ඇවිදිනවා. මෙන්න මගේ නෝනා, අපිට ඔයත් එක්ක ටික දුරක් හරි යන්න පුළුවන් නම් ඒක එයාට ලොකු සැනසිල්ලක් වෙයි.”

“හරි, එහෙනම් නගින්න, ඒ උනත් ඉක්මන් කරන්න, මේ හැම දෙයක්ම මට පුළුවන් ඉක්මනින් පුළුවන් තරම් මගේ පිටි පස්සෙන් තියන්න ඕනේ. වාහනයේ තෙල් ටැංකිය සම්පූර්ණයෙන් පිරිලා තියෙන්නේ. ඒ නිසා එයා අපිව ගොඩාක් දුරකට අරගෙන යයි, නමුත් මම යන්නේ කොහෙද කියලා මට තාමත් විශ්වාස නැහැ. නමුත් මේ පිස්සු තැනින් පුළුවන් තරම් ඈතට කියලා නම් දන්නවා.”

නාගසාකි වෙත තවත් විශාල පරමාණු බෝම්බයක් දමා ඇති බව නිවේදනය කළ දිනදී, එනම් 9 වන දින දී ඔවුන් ටෝකියෝවට පැමිණියෝය. සතියක් ඇතුළත හිරෝහිතෝ අධිරාජ්‍යයා යටත් වූ අතර ජපානයේ දූෂණය කිරීම්, කොල්ලකෑම් සහ පැහැරගැනීම් ඉතා උනන්දුවෙන් ආරම්භ විය.

හිරෝටෝගේ නිවාසය නොමැති වූ නිසාත්, නිවාසයක් නොමැති පවුලක් එම ස්ථානයේ බිම පදිංචිවී සිටි නිසාත් මිසුකිවරු සුසුමේගේ දෙමව්පියන් සමඟ පදිංචියට ගියහ. ඔහුගේ හිසට සැබෑ වහලක් තිබුන බැවින්, තම නිවස තිබූ ස්ථානයේ පදිංචිව සිටි පවුල ඉවත් කිරීමට ඔහුට හදවත නම්මවා ගැනීම අපහසු විය. ඉන්පසු ඔවුන් 13 වන සඳුදා නැවත සේවයට පැමිණියේ කිසිවක් සිදු නොවූ ලෙසිනි. නමුත් ඔවුන් එසේ කළේ ඔවුන්ගේ කැළඹිලි සහිත ජීවිත සඳහා අවශ්‍ය මුදල් සහ ස්ථාවරත්වය එයින් ලැබුණු බැවිනි. කෙසේ වෙතත්, සත්තකින්ම, මුලික යමක් වෙනස් වී තිබුණි.

ඔවුන් ඊනියා දෙවියන් ලෙස සැලකූ තම රජු කෙරෙහි මෙතරම් අන්ධ විශ්වාසයක් තැබීම කෙතරම් මෝඩකමක් දැයි මිසුකිවරුන්ට විශ්වාස කළ නොහැකි වූ අතර ඔවුන්ට නැවත කිසි දිනෙක යුද්ධයක් දැකීමට අවශ්‍ය නොවීය. ජපානයේ කොමියුනිස්ට් පක්ෂය වෙතට ඔවුන් ඇදී ගියේ, 'ලෝක කම්කරුවනී එක්වන්න!' වැනි, ඔවුන් පාවිච්චි කල පාඨයන්හි තිබූ ආකර්ශනීය බව නිසාත් හිරෝහිතෝගේ මෝඩකම ඔවුන් කෙරෙහි ඇති කළ බලාපොරොත්තු සුන්වීම සහ මෝඩ ඇමරිකානු සොල්දාදුවන් සැමදා වාගේ සිදුකල කුරිරුකම් නිසාය.

ජපානයේ යුද්ධය අවසන් වී වසර හතරකට පසු, එනම් 1949 අගෝස්තු 14 වන දින සුසුමේ ගැහැණු ළමයෙකු බිහි කළාය. ඔවුන් ඇයට යූයි ලෙස නම් තැබුවෝය. ඔවුන් ඇයව වෙනත් ජපන් ගැහැනු ළමයින් මෙන් හදා වඩා ගත් අතර ඇගේ ආච්චිලා සීයලා ඇයට ෂින්ටෝ දහම ඉගැන්වූ නමුත් ඇගේ දෙමව්පියන් ඇයට කොමියුනිස්ට් ආචාර ධර්ම ඉගැන්වූහ. එලෙසම ඔවුන් ඇයට පැහැදිලි කලේ, සිදුවීම් පිළිබඳ පුවත්පත්හි තිබූ නිල පැහැදිලි කිරීම කිසි විටෙකත් පැහැදිලි එකම දෙය නොවන බවත් බොහෝ විට නිවැරදි නොවන බවත්ය.

කෙසේ වෙතත්, ඔවුන් සිය ජීවිතයේ ‘සාම්ප්‍රදායික නොවන’ ජපන් පැත්ත රහසිගතව තබාගත්තේ මිසුකිවරුන් ඔවුන්ගේ ප්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂ නායකයින් හැර වෙන කිසිවෙකු විශ්වාස කිරීමට මැලි වූ බැවිනි. මැක්ආතර්ගේ රුචි අරුචියන් පරිදි මිසුකි පවුලේ වාසනාව වෙනස් වූ නිසා යුද්ධයෙන් පසු මුල් අවදියේදී ජීවිතය බෙහෙවින් වෙනස් විය, නමුත් ජපානයේ කොමියුනිස්ට් පක්ෂය (සී.පී.ජේ.) රුසියානු මවගේ පරිත්‍යාග මගින් ඔවුන් රැකබලා ගත් අතර මිසුකිවරුද හොඳ පිළිගත හැකි රැකියාවල නිරත වූහ. ඇත්තෙන්ම ඔවුන් බොහෝ දුරට ඔවුන්ගේ සමකාලීනයන්ට වඩා හොඳ තත්වයක සිටියෝය.

ඔවුන් තම දේශපාලන උපකාර කරන්නාට ත්‍යාගයන් ලෙස කුඩා තොරතුරු සැපයූ අතර ඒවා සියල්ල මොස්කව් වෙතට යවන ලදි.

1967 දී යූයි ටෝකියෝ විශ්ව විද්‍යාලයට භාෂා - ඇයගේ ප්‍රියතම විෂයන් වූ ඉංග්‍රීසි, රුසියානු සහ චීන- හැදෑරීම සඳහා ඇතුළත්වූ අතර ඇගේ පියා විසින් අමාත්‍යාංශයේ රැකියාවක් සඳහා ඇගේ නම පොරොත්තු ලේඛනයට ඇතුලත් කරන ලදී. රැකියාව සඳහා අවශ්‍ය අල්ලස් දීමට තරම් මුදල් රැස් කිරීමට ඔවුන්ට වසර තුනක් තිබුණද ඔවුන් ඒ ගැන තැකීමක් කළේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ඇයට රාජ්‍ය තාන්ත්‍රික සේවය සඳහා විභාගයට පෙනී සිටීමට විකල්පයක් ඇති විදේශ කටයුතු කාර්යාලයට යාමට හැකිවීම පමනකි.

යූයි, විශ්ව විද්‍යාලයේ අවසන් මහා විභාගය සමත් වුවහොත් ඇයගේ අනාගතය පිලිබඳ සහතිකයක් තිබිණි. ඇය කිසි විටෙකත් කිසිවෙකුට ඇගේ කොමියුනිස්ට් නැඹුරුව පිලිබඳ හෙළි නොකලාය. ඇගේ දෙමව්පියන් ඇයට ඔවුන්ගේම අවවාද දී තිබූ අතර, ඔවුන්ගේ උපාය මාර්ගයේ ඇති ඥානවන්තභාවය ඇය දැක තිබුනාය. එසේ වුවද, ඇය මහජනතාව සමග සමහර සී.පී.ජේ. රැස්වීම්වලට සහභාගී වූ අතර සමහර විට වේදිකාවේ සිටින නායකයින්ගෙන් ඔවුනට අපහසුතා ඇතිවන, කලින් තීරණය කළ ප්‍රශ්න ඇසීමෙන් යක්ෂයාගේ නීතිවේදියා චරිතයද රඟපෑවාය.

කෙසේ වෙතත්, සී.පී.ජේ. හි සමහර ඉහළ සාමාජිකයින් ඇය කවුදැයි දැන සිටි අතර ඇගේ දෙමාපියන් දිගටම ක්‍රියාශීලී සාමාජිකයින් වූ නමුත් රහසිගත කාර්යභාරයක් ඉටු කළහ. ඇයගේ වරප්‍රසාද ලත් ස්ථානය තිබියදීත්, යූයි සැබවින්ම ආශාවෙන් බලා සිටියේ ඇයට රැකියාවක් කළ හැකි, තම දෙමාපියන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකින් උදව් කිරීමට හොඳ මුදලක් උපයා ගැනීමට හැකි සහ ජපානයේ සම්ප්‍රදායන්ගෙන් හා පැරණි දේවලින් ගැලවීමට එයින් පිටතට යා හැකි දිනයක් පිළිබඳවයි. ඇය ගැළපෙන අදහස් ඇති නූතන කාන්තාවක් වූ අතර, ඒ නිසා ඇයට තම රට තුළ ජීවත්වීම මහත් අපහසුවක් ලෙස දැනුණි.

ඇයට තෝරා ගැනීමේ සැබෑ ආශාවක් නොතිබුණද එක්සත් රාජධානිය, කැනඩාව හෝ ඇමරිකා එක්සත් ජනපදය ආරම්භයක් සඳහා හොඳ තෝතැන්නක් වන බව වැටහුණි. ඇය හැදී වැඩුනු පරිසරය හා ඉගෙනගත් දර්ශනය නිසා ඇය එම රටවල සහ තම රටේ සිටි ධනවත් ප්‍රභූ පැලැන්තියට වෛර කළාය. එලෙසම කොමියුනිස්ට්වාදියෙකු ලෙස ඇය එම රටවල ජීවත් වූ සාමාන්‍ය කම්කරු පන්තියට දොස් නොකීවාය.

ඇයට එම ඉලක්කය සපුරා ගනිමින් ඇගේ දෙමාපියන්ට ගෞරව කරන්නේ කෙසේදැයි ඇය නොදැන සිටියද, මුදල් අමාත්‍යාංශයට බැඳී විදේශ කාර්යාලයට මාරු වී රාජ්‍ය තාන්ත්‍රික සේවයේ තනතුරක් සඳහා ඉල්ලුම් කිරීම ඇයට ඉදිරියට පැමිණීමට හැකි හොඳම මාර්ගය බවද තෙරුම් ගත්තාය. ඇයගේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට උදව් කිරීමට ඇගේ දෙමාපියන් සැමවිටම කැමැත්තෙන් සිටියහ.

යූයි තම ඔළුව නමා එක් වරකට එක් බාධකය බැගින් ජය ගැනීමට සිතූ නමුත් ඇය සතුටින් නොසිටියාය.

3 නටාල්යා පෙට්‍රොව්නා මිර්ස්කි

1941 සිට 1945 දක්වා වූ මහා දේශප්‍රේමී යුද්ධය අතරතුර, සෝවියට් රජයේ ප්‍රධාන පරමාර්ථය වූයේ තම බටහිර මායිම් මත පැමිණි ජර්මානු ආක්‍රමණය පලවා හැරීම වූ අතර පියොටර් ඉලිච් මිර්ස්කි මැන්චූරියාවේ ජපන් ජාතිකයින් සමඟ සටන් කරමින් සිටියේය. මෙම සටන අවසන් වූයේ 1945 සෝවියට්-ජපන් යුද්ධයේදී ජපාන හමුදා පරාජයට පත්වීමත් සමඟය. එය දෙවන ලෝක යුද්ධය ගෝලීය වශයෙන් අවසන් කිරීමට උපකාරී විය. ඔහුට ලැබුණු කෙටි විවේක කාලයේදී, සෑම වසරකට වරක් කරන්නා සේ, ඔහු එවකට කසක් සෝවියට් සමාජවාදී ජනරජයේ අගනුවර වූ අල්මා අටා වෙත ගියේ ඔහුගේ ළමා කාලයේ සිට පෙම්වතිය වූ මරීනා ඇන්ටොනෝවා බැලීමටය. ආයුධ කර්මාන්ත ශාලාවක වැඩ කිරීම සඳහා මරීනා හට යුද්ධය පවතී කාලසීමාව තුලදී, ඇය දේශීය විශ්ව විද්‍යාලය තුල හැදෑරු ජපන් භාෂාව පිළිබඳ උපාධිය සීමා කිරීමට සිදු වූ අතර ඇය දේශපාලන අධ්‍යාපනය පිළිබඳව කම්කරුවන්ට, ප්‍රදේශවාසීන්ට සහ සංක්‍රමණිකයින්ට දේශීය කර්මාන්තශාලා තුලද ළමයින්ට ඔවුන්ගේ පාසල් තුලද දේශන පවත්වමින් සිටියාය.

අල්මා අටා පළාතට යුධ හානියක් සිදු නොවුනද, යුද්ධය පැවති කාලය ඉතා දුෂ්කර වූ අතර ප්‍රදේශයේ ගොවීන් බොහෝ සංඛ්‍යාවක් සිටියද ආහාර හිඟ විය. ජනගහනයේ විශාල වැඩිවීමක් හේතුවෙන් එම ගැටලු පැන නැගුනි. බටහිර දිග සෝවියට් සංගමයේ සියලුම යුරෝපීය කාර්මික මධ්‍යස්ථාන අල්ලා ගන්නා බවට නාසි හමුදා තර්ජනය කළ පසු බොහෝ යුරෝපීය සෝවියට් පුරවැසියන් සහ රුසියාවේ කර්මාන්ත බොහොමයක් යුද්ධ කාලයේදී කසකස්තානය වෙත ගෙන යන ලදී. ක්‍රිමියානු ප්‍රදේශයේ ටාටාර් වරු, උතුරු කොකේසස් කලාපයේ ජර්මානුවන් සහ මුස්ලිම්වරුන් විශාල කණ්ඩායම් කසකස්තානයට පිටුවහල් කරනු ලැබුවේ, ඔවුන් සතුරා සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි යන බිය නිසාත්, එලෙසම 1939 දී සෝවියට් සංගමය විසින් ආක්‍රමණය කළ නැගෙනහිර පෝලන්තයෙන් පෝලන්ත වැසියන් මිලියනයක් පමණද, කසකස්තානයට පිටුවහල් කරන ලදි. එලෙස පිටුවහල් කලවුන්ගෙන් අඩක් පමණ එහිදී මියගිය බව ගණන් බලා තිබේ. කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් ඔවුන්ගේ සොච්චම් ආහාර සලාක සාගින්නෙන් පෙළෙන ආගන්තුකයන් සමඟ බෙදාගැනීම නිසා ප්‍රසිද්ධියට පත් වූ අතර නගරයේ පදිංචිකරුවන් 52,000 කට වැඩි පිරිසකට ‘ඔබේ ස්වයං ප්‍රතික්ෂේප කිරීමේ ශ්‍රමයට කෘතඥතාවය’ යන පදවි නාමය ලැබුණි. එපමණක් නොව, පදිංචිකරුවන් හතළිස් අට දෙනෙකුට ‘සෝවියට් සංගමයේ වීරයා’ යන පදවි නාමය ප්‍රදානය කරන ලදී.

1945 දී ඔහු සක්‍රීය හමුදා සේවයෙන් ඉවත්ව, නැවත දේශීය ඉංජිනේරු සමාගමක තමා කරමින් සිටි රැකියාවට පියොටර් ගිය නමුත්, රාත්‍රී පාසැල් වලට සහභාගී වී තාක්ෂණික චිත්‍ර ඇඳීම විෂය ඉගෙනීමෙන් ඒ තුළින් තමාට වඩා හොඳ අනාගතයක් සාදා ගැනීමට හැකිවන බවට අදහසක් තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ කුඩා කාර්මීක උපකරණ සෑදීමට වඩා ඒවා නිර්මාණය කිරීමට ය. මේ අතර, මරීනා නැවත විශ්ව විද්‍යාලයට ගිය අතර ඔවුන් දෙදෙනාම නැවත ඔවුන්ගේ ආශ්‍රය ආරම්භ කළහ. අහස තරු වලින් බරවී තිබූ එක් සැන්දෑවක, අවසාන විභාගය සමත් වූ පසු ඔවුන් දෙදෙනා විවාහ වීමට එකිනෙකාට පොරොන්දු දුන්හ.

කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක් සහ දේශපාලන ක්‍රියාකාරිනියක ලෙස මරීනා බොහෝ විට පියොටර්ව 'තමාව දියුණු කර ගැනීමට' තිබූ ධනපති පන්තියට ලැදි ආශාව නිසා ඔහුව යම් පමණකට නියාමනය කළාය. මක්නිසාද යත්, නිර්මාණකරණය නිෂ්පාදනයට වඩා උසස් නිසා, එමගින් පන්ති භේද ඇති වීමේ සහ සමාජයේ බෙදීම් ඇති වීමේ සම්භාවිතාවක් තිබූ බැවිනි. පෞද්ගලිකව ඇය ඔහුගේ අභිලාෂයට සහයෝගය දැක්වුවද, ඇයගේ පක්ෂයේ ප්‍රතිපත්ති එලෙස විය. ඇයට ස්ටාලින්වාදී ක්‍රීඩාව කිරීමට සිදු වූයේ ඔවුන් භයානක කාලවල ජීවත් වන බව සියලු දෙනා දැනසිටි බැවිනි. යුද්ධයට පෙර සිදුවූ මහා සුද්ධ කිරීමේ ක්‍රියාවලිය මගින් අවම වශයෙන් පුද්ගලයින් මිලියනයක්වත් ඝාතනය කර මිලියන පහක් පමණ පුද්ගලයින් ‘නැවත පදිංචි කරවීම’, හෙවත් බලහත්කාරයෙන් කම්කරු කඳවුරුවලට ගාල් කිරීමේ ක්‍රියාවන් කිසිවෙකුට අමතකව නොතිබුනි.

මරීනා යථාර්ථවාදියෙක් විය. මෙවන් සිද්ධි සිදු වූ බව ඇය දැන සිටියත් ඇයට එවැනි දෙයක් සිදුවනවාට ඇය අකැමති විය. එබැවින් ඇය තම පවුලේ අය සහ පෙම්වතා සම්බන්ධයෙන් වුවද පක්ෂයේ නියමයන් වලින් පිට නොගියාය.

1948 අගෝස්තු මස සතියේ දිනකදී, ඔවුන් දෙදෙනාම අවසන් විභාගය සමත් වී ඇති බවට දැන ගැනීමට ලැබීමෙන් පසු, ඔවුන් නගර මධ්‍යයේ පිහිටි රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගොස් විවාහ වූහ. අවුරුද්දක් ඇතුලත, නිවැරදිව කිවහොත්, අගෝස්තු 14 වන දින ඔවුන්ට දියණියකගේ සුරතල් බැලීමට ආශීර්වාදය ලැබුණි, නැතහොත් අවම වශයෙන් සෝවියට් සමාජයේ ඉහළ පෙළේ අයට ඔවුන්ට ආශීර්වාද කළ හැකි දෙවියෙකු ගැන විශ්වාස කිරීමට ඉඩ දුන්නේ නම්, ඔවුන් එසේ ප්‍රකාශ කරනු ඇත.

නටාල්යා පෙට්‍රොව්නා මිර්ස්කි මෙලෙස උපත ලැබුවද, ඇයගේ වයස පැය විසිහතරක් ඉක්ම යාමටත් පෙර ඇය තම මවට නටාෂා සහ ඇගේ පියාට ටාෂා විය.

මරීනා දියුණු වීමට දැඩි ආශාවකින් යුතු, සුපරීක්ෂාකාරී සහ පක්ෂයට ඉතා විශ්වාසවන්ත කෙනෙකු වූ අතර පක්ෂයේ සාමාජිකාවක වීම සහ උපාධිය ලබා ගැනීම නිසා ලැබුණු නොයෙකුත් වරප්‍රසාද ඇය භුක්ති වින්දාය. එහි හිලව්වට, යමක් කිරීම සඳහා පක්ෂය ඇයගෙන් ඉල්ලා සිටි විට වෙන කිසිම කරුණක් ඇයට එතරම් අදාළ නොවීය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පියොටර් හට ටාෂා සමඟ ගුවන්විදුලිය ඉදිරිපිට බොහෝ රාත්‍රී කාලවල සෙල්ලම් කිරීමට සිදුවූ අතර, ඔහුගේ බිරිඳ ඒ අතරතුරදී ක්‍රියාකාරීන් සමඟ පිටතට ගොස්, ස්ටාලින් පියාගේ නැතහොත් කෘෂ්චෙව් සහෝදරයාගේ නවතම වචන ‘පාලන නීති ලිහිල් කිරීමේ පියා’ යනුවෙන් ජනතාව වෙත පතුරුවා හැරියාය.

මුලදී පියෝටර් හට, මරීනාගේ තත්වය නිසා ඔවුන්ට හිමිවූ වරප්‍රසාදයන් පිළිගැනීම පිලිබඳ අපහසුතාවයක් දැනුන නමුත් ඔහු රැකියාව කල සමාගම තුළ ඔහුගේ තත්වයද ඉහළ යාමත් සමඟම ඔහුට අමතර ආහාර, අමතර බීම සහ සමාගමේ වියදමින් රාත්‍රී භෝජන සංග්‍රහ ඔහුගේ බිරිඳද සමග භුක්ති විඳීමට ආරාධනා ලැබුණි. ඔහුට වසරකට එවැනි ආරාධනා හයක් පමණ සහ මරීනාට ඔහුට මෙන් ආරාධනා දෙගුණයක් පමණ ලැබෙමින් තිබුණද, ඔහුට දැනුනේ අවම ලෙස ඔහු යම් ආකාරයකින් ඒවාට ගෙවන බවය. එවැනි අවස්ථාවන්හිදී සහ ඔවුන් දෙදෙනාම වැඩ කරන විට, ආච්චිලා සීයලා විසින් පළමු වසර පහ ඇතුලත නටාෂා රැකබලා ගැනීම සඳහා එකඟතාවයෙන් යුතුව ක්‍රියා කල නමුත්, ඇය වයසින් මුහුකුරා ගිය විට, ඇයව ළදරු පාසලට ඇතුළත් කර ගන්නා ලදී - පක්ෂයේ අනුග්‍රාහකත්වයෙන්, නගරයේ තිබුණු හොඳම පාසැල ඇයට ලැබිණි.

'ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ දෙයක්' යැයි මරීනා, පියොටර් සනසමින් කිවේ ඔහු ඒ පිළිබඳව සැක පහළ කළ විටය. 'පක්ෂයේ ඉහල තලයේ නිලධාරීන්ගේ හැම දරුවෙක්ම යන්නේ හොඳම පාසල්වලට, මොකද එයාලගේ දෙමව්පියන්ට දරුවන්ගේ ඉගෙනීම ගැන කරදර නොවී එයාලගේ රැකියාව දිහාවට අවධානය යොමු කරන්න පුළුවන්නේ එතකොට’ මරිනා වැඩි දුරටත් පැවසුවාය. තම දියණියට හොඳම දේ අවශ්‍ය නිසා පියොටර්ද මරීනා නිදහසට පැවැසූ කරුණු පිළිගත්තේය. නමුත් පෞද්ගලිකව ඔහු කල්පනා කළේ හොඳම ආහාර සහ පාන, පක්ෂ නිලධාරීන් හට ඔවුන්ගේ කාර්යයන් වඩාත් හොඳින් කරගෙන යාමට උපකාරී වූයේ කෙසේද යන්නයි. ඔහු බොහෝ විට මරීනා සමඟ මෙම විෂය ගැන කතා කිරීමට සිතුවද ඇයට ඒ සඳහාද පිළිතුරක් ඇති බව දැන සිටියේය.

ඇයට සෑම දෙයකටම සෑම විටම පිළිතුරක් තිබුණි.

ඇත්තෙන්ම, ඔහු ඇයට විරුද්ධව සිටීමට අකමැති වුයේ, ඔහු ඇයට තරමක් බියෙන් සිටි නිසාය. ඇගේ අභිලාෂයන් සහ ඇගේ අධිෂ්ඨානයන් ගැන ඔහු බිය විය. ඒ අතර පළමුවෙන්ම තම නාගරික කොට්ඨාශයේ පක්ෂ නියෝජිතයෙකු ලෙස පත් වීම, පසුව අල්මා අටා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිතුමිය ලෙසත්, පසුව කසක් ජනරජයේත්, අවසානයේ එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ ඉහළම සංවිධානය වන පක්ෂ කොන්ග්‍රසයේ කොටසක් බවට පත්වීමත් ඇයගේ අභිප්‍රාය විය.

වෙනත් කිසිවෙකු ඉදිරියේ නොවුනත්, ඇය පියොටර් ඉදිරියේ බොහෝ දේ පිළිගත්තාය. නමුත් ඇයට ඔහුට පවා පැවසීමට නොහැකි දෙයක් වූයේ මධ්‍යම කාරක සභාවේ අසුන් ගැනීමත් ඉන්පසු දේශපාලන මණ්ඩලයේ පළමු කාන්තා සාමාජිකාව බවට පත්වීමටත් ඇති ඇගේ සිහිනයයි. ඇය නිතරම ගියේ, ඇයගේ වීරවරිය සහ ඇය නිතරම ආදර්ශයට ගත් චරිතයක් වන, 1917 සහ 1918 දී මධ්‍යම කාරක සභාවට තේරී පත් වූ එලේනා ස්ටාසෝවා ගේ අඩි පාරේය. නමුත් මරීනාගේ එම ඉලක්කය, ඇත්තෙන්ම උසස් ඉලක්කයකි.

ඇත්තෙන්ම මරීනාට පවා එම සිහිනය ගැන සිතීමේදී අසුන් ගැනීමට සිදු විය. මන්දයත් ඒ ගැන සිතීම පවා ඇයව වෙහෙසට පත් කළ කරුණක් වූ අතර, නමුත් අවුරුදු පහළොවක් හෝ විස්සක් තුළ ඒ සියල්ල කළ හැකි යැයි ඇය සිහින මැව්වාය. සමහර විට දේශපාලන මණ්ඩලයට යාමට වසර තිහක් පමණවත් ගතවිය හැකි නමුත් ඇය තවමත් විසිතුන් හැවිරිදි වියේ පසුවූවාය. ඇයගේ ජීවිතය තුල ඇය මෙවන් සිහින සමගින් ජීවත් වෙන බව පියොටර් දැන සිටියේ නම්, ඒකාන්තයෙන්ම ඔහු භීතියට පත්වනු නොඅනුමානය.

නටාෂා ඉතාමත් ලස්සන, හොඳ අධ්‍යාපනයක් ලැබූ, මනා හැසිරීමක් ඇති යෞවනියකු ලෙස හැදී වැඩුණත්, ඇයගේ මව සහ ඇය ඉගෙනුම ලබන විශේෂ පාසැල් වලින් ඇයට යම් යම් දේ පිළිගැනීමට උගන්වන ලද බව පැවසීම සාධාරණය. ඇයට සහ ඇය සමග අධ්‍යාපනය හැදෑරු සෙසු සිසුන්ට සමාජවාදී ජනරජයන්ගේ සෝවියට් සංගමයට පක්ෂපාතී බවට දිවුරුම් දීමටත්, ධජයට ආචාර කිරීමටත්, දේශප්‍රේමී ගීත සහ පැරණි සටන් ගීත ගායනා කිරීමටත් සෑම උදෑසනකම පන්තියට යාමට පෙර කිරීමට සිදුවිය. නමුත් එය ඇත්ත වශයෙන්ම බටහිර හා නැගෙනහිර වෙනත් බොහෝ රටවල මෙන්ම රජය හා පල්ලි මගින් පාලනය වූ පාසල්වල සිදු වූ ආකාරයට වඩා වැඩි වෙනසක් නොවීය.

තම සමාජ පංතියේ ඵෙතිහාසික අරගලය සැලකිල්ලට ගනිමින් වර්තමාන හා අතීත සිදුවීම් විශ්ලේෂණය කිරීම සඳහා ඔවුන් පුහුණු කරන ලද නමුත් ඔවුන්ගේ දේශපාලන ක්‍රමයේ දුර්වලතා ඔවුන්ට කිසිදා නොපෙන්වීය. කෙසේ වෙතත්, නටාෂා එය දැන සිටියේ නැත. ඇය ඉගෙනීමට දක්ෂ වූ අතර හොඳින් වැඩ කටයුතු කිරීම පිළිබඳව ඇගේ දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ ප්‍රශංසාව සැමවිට භුක්ති වින්දාය. ඇය නිරන්තරයෙන් තම පංතියේ පළමු ස්ථානය ලබාගත් අතර, ඇගේ පළමු වචනය කතා කළ දා සිට ඇයට ජපන් භාෂාව උගන්වන ඇයගේ මව සේම ඇය ද භාෂාවන් කෙරෙහි සුවිශේෂී ඇල්මක් දැක්වූවාය. නටාෂාට වයස අවුරුදු හතක් වනවිට ඇගේ ජපන් භාෂා චතුරත්වය ඇගේ රුසියානු සහ ඇගේ මව් භාෂාව වන කසක් තරමට උසස් විය. එබැවින් ඇයගේ මව පවුලට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පෞද්ගලික උපදේශකයෙකු කුලියට ගත්තාය. නටාෂා එය ඉගෙනීමට ගියේ, තාරාවෙකු වතුරට දමන්නාක් මෙන් ය. ඇයට ඉදිරිපත් කළ ඕනෑම පාඩමක් සමඟ ඇය මෙලෙස කළ බව පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත්, පියොටර් එයට එතරම් උනන්දුවක් නොදැක්වූ අතර වැඩි කල් නොගොස්, ඉතා සාර්ථක වීමට හැකියාවන් ඇති දෙදෙනාගේ අධ්‍යයන කටයුතු වලින් ඔහු ඔවුන්ව වළක්වා නොගත්තේය.

කෙසේ වෙතත් එය ඔහුගේ නිදහසට ඔහු විසින් ඉදිරිපත් කල කරුණ විය.

වයස අවුරුදු දහය වන විට නටාෂා භාෂා හතරකින් චතුර ලෙස කතා කළ අතර ඒවායින් ලියවුණු පොත්පත් ද කියවුවාය. ඇයට පෝලන්ත භාෂාවද සාමාන්‍ය ආකාරයෙන් කථා කළ හැකි විය. සමාජවාදී අධ්‍යාපනයේ උදාහරණ ලෙස ලොවට පෙන්වීම සඳහා හොඳම සිසුන් සොයන පාසලක මෙය අවධානයට ලක් නොවී නොතිබිණි. නටාෂා තම ඉගෙනීම ආරම්භ කළේ ලතින්, ප්‍රංශ සහ ජර්මානු යන භාෂාවලිනි. එහි අදහස වූයේ ලතින් සහ ප්‍රංශ යන භාෂා ඇයට සියලු දකුණු යුරෝපීය භාෂාවන්ට අවශ්‍ය විශිෂ්ට පදනමක් ලබා දෙන අතර ලතින්, ඉංග්‍රීසි සහ ජර්මානු භාෂා මගින් ඇයට උතුරු යුරෝපයට දොර විවර කරනු ඇත. ඒ හා සමානව, රුසියානු භාෂාව සෝවියට් ජනරජයේ භාෂාවලට පිවිසීමේ ස්ථානය වනු ඇත.

දැනටමත් ඔප්පු කර ඇති මෙම උපාය මාර්ගය යළිත් ක්‍රියාත්මක වූ අතර නටාෂා ඉතා ඉක්මණින් ඇගේ වේගවත් මනස හා නිරවුල් ප්‍රායෝගික බුද්ධිය භාවිතා කරමින් ඇය ඉගෙන ගන්නා භාෂාවලින්, ඇය මීට පෙර කිසිදා එම වචන දැන නොසිටියත්, වචන අනාවැකි කීමට උත්සාහ කළාය. අනිත් පුද්ගලයන් හට, ගැළපෙන හෝ ගැටෙන වර්ණ ඉතා පහසුවෙන් පෙනෙන ආකාරයට, වචන හා භාෂාවල රටා ඇයට පහසුවන් දැකගත හැකි විය. මීට පෙර ඇගේ ගුරුවරුන් කිසිවෙකුට එවැනි දක්ෂ ළමා භාෂාවේදියෙකු හමු වී නොතිබුණි.

දහහතර විය වන විට ඇගේ ප්‍රංශ, ජර්මානු සහ ලතින් භාෂා ඕනෑම උසස් පාසැල් ගුරුවරියකට ඇයට ඉගැන්විය හැකි ඉහල මට්ටමක පැවති නිසා ඇය විශ්ව විද්‍යාලයේ පන්තිවලට සහභාගී වීමට පටන් ගත්තාය. ලතින්, ප්‍රංශ, ඉතාලි සහ ස්පාඤ්ඤ භාෂා අතර සමානකම් මීට පෙර ඇය දුටු නමුත් ඒ පිළිබඳව කිසිවක් කිරීමට ඇයට හැකියාවක් එවකට නොතිබුණි. කෙසේ වෙතත් දැන් ඇයට විශ්ව විද්‍යාල පුස්තකාලයට සහ එහි නවතම භාෂා විද්‍යාගාරයට ප්‍රවේශ වීමේ හැකියාව ලැබී තිබුන බැවින් ඇය ‘තමන්ම ඉගෙන ගන්න’ නමැති පාඨමාලාව තෝරාගෙන ස්පාඤ්ඤ බස වැඩිදුරටත් හැදෑරුවාය. ඇය එයට ආසා කලේ පාසැලේදී ඇය ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ගැන ඉගෙන ගෙන සිටි බැවිනි.

ඇයට හාස්‍යය පිළිබඳ දක්ෂතාවයක් ද තිබූ අතර ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ වචන උච්චාරණ හා හැසිරීම් අනුකරණය කිරීමට ද ඇය ප්‍රිය කළාය. ඇයගේ අනුකරණයෙන් ගැලවුණු එකම දෙදෙනා ස්ටාලින් සහ කෘෂ්චෙව් විය. කිසිම ආකාරයකින් ඇගේ මව විසින් ඇයට ඔවුන් දෙදෙනාට විහිළු කිරීමට ඉඩ ලබා නොදුන්නාය. නමුත් මරීනා නිවසේ නොසිටින විට ඇගේ පියා ඇගේ රංගනයන් භුක්ති වින්ද අතර, එය බොහෝ විට සිදුවූයේ මරීනාගේ පක්ෂය සමග තිබූ බැඳීම් නිසාත්, ඇය සෝවියට්-ජපන් කටයුතු පිළිබඳ කසකස්තානයේ ප්‍රමුඛතම විශේෂඥවරිය වූ නිසාත්, වැඩි කාලයක් ඒ වෙනුවෙන් වැය කිරීමට ඇයට සිදුවූ නිසාත්ය. එබැවින් ඇයට ජපානයේ කාලය ගත කිරීමට සිදුවූ අතර ඒ සඳහා ඇයව දිරිමත් කිරීමට විශේෂ දීමනාවක්ද ගෙවන ලදී. සමහර අවස්ථාවන්හීදී එය දින කිහිපයකට සීමා වූවත්, සමහර විටක සති කිහිපයක කාලයක් ගතවූ අවස්ථාවන්ද විය.

ඔවුන් සෑම විටකම ‘සංස්කෘතික නියෝජිතයන්’ ලෙස වෙස්වලා ගෙන පෙනී සිටියද, ඔවුන් මහා කාර්ය භාරයක් ඉටු කෙරුවෝය. ඒ කාර්යයන් අතරට ජපානයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ව ධෙෙර්යමත් කිරීම සඳහා ඔවුන් සමග කතා බහේ යෙදීම සහ ජනතාවගේ මනෝභාවය විනිශ්චය කොට තේරුම් ගැනීම සඳහා පියා ස්ටාලින් හෝ කෘෂ්චෙව් වෙතින් විශේෂ පණිවිඩ ගෙන ඒමද ඇතුලත් විය. මෙම කාලය තුලදී ජපානයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වයේ විශාල වර්ධනයක් සිදුවූ අතර එයට හේතු ලෙස, දීර්ඝ කාලයක් පුරා ජපානයේ රැඳී සිටින ඇමරිකානු හමුදාවන්හි පැවැත්මට ප්‍රතිචාරයක් වශයෙන් සහ ජපානයේ ඇතිවූ සිවිල් නොසන්සුන් තත්වයන්ට ප්‍රතිවිරුද්ධ බලයක් ලෙස ඇමරිකානුවන් එය දිරිමත් කිරීමත් දැක්විය හැකිය. ඇය ටෝකියෝ සහ අනෙකුත් විශාල නගරවල පැවැත්වූ දෑවැන්ත රැලි ඇමතුවේ ඔවුන්ගේම ජපන් භාෂාවෙනි.

1963 වර්ෂයේදී එවැනි එක් සංචාරයකින් පසු ඇය අල්මා අටා කොමියුනිස්ට් පක්ෂයට යෝජනා කළේ ජපානයේ වඩාත් ප්‍රබල කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසකට සතියක වැටුප් සහිත නිවාඩුවක් සඳහා අල්මා අටා හි නැවතී සිටීමට එන ලෙසට ආරාධනා කරන ලෙසයි. ඇයගේ මෙම අදහස ඔවුන් ඉතා සුපරීක්ෂාකාරීව සලකා බලා එයට අවශ්‍ය අවසන් තීරණය ගැනීමට එය මව් පක්ෂයේ නිලධාරීන් වෙත යැවුහ. කෘෂ්චෙව් විසින්ම අනුමත කරන ලදුව දේශපාලන මණ්ඩලය විසින් රබර් මුද්‍රා තබන ලද තීරණය නැවත ඔවුන් වෙත පැමිණියේය. මරීනා සිය මතක සටහන් බහාලුමට එම ලිපියේ ඡායාරූපයක් ලබා ගත් අතර එහි මුල් පිටපත රාමු කොට අල්මා අටා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර්යාලයේ බිත්තියේ එල්ලා තැබුවාය. මරීනාට වැටහුනේ මව් පක්ෂයේ ක්‍රියාකාරීන් හට ඇයව නිරීක්ෂණය වූ බවත්, තමාගේ ඉහලට යාමේ ඉණිමඟේ තවත් එක් ඉනිමං පත්තක් නැගගත් බවත්ය. නමුත් 1957 දී මව් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පළමු කාන්තා සාමාජිකාව ලෙස පත්වීමට යෙකැටෙරිනා ෆර්ට්සෙවා නම් තවත් කාන්තාවක් සමත් වූවද තමාගේ ඉහල නැගීමද ස්ථිර බව ඇය දැන සිටියාය. ෆර්ට්සෙවාගේ සෑම පියවරකම මරීනා විසින් අධ්‍යයනය කරමින් හැකි සෑම විටම අනුකරණය කරමින් සහ සහාය අවශ්‍ය සෑමවිටම එයද ලබා දුන්නාය.

මොස්කව් වෙතින් මෙම සංචාරය සඳහා අරමුදල් ලබා දුන් අතර විනිවිද භාවයකින් තොර වුවත් එම මූලික කටයුතු සාර්ථකව අවසන් විය. සංචාරය පිලිබඳ ශුභාරංචිය දීමටත්, එහි කටයුතු සඳහා විධිවිධාන සහ අරමුදල් ලබා දීම සඳහාත් මරීනාව ජපානයට පිටත් කර හරින ලදි.

“ඒක මේ වගෙයි”, ඇය සී.පී.ජේ. හි ඉහල සාමාජිකත්වයට පැහැදිලි කළාය, “අපි, ඒ කියන්නේ කෘෂ්චෙව් සහෝදරයායි දේශපාලන බල මණ්ඩලය යි, ඇමරිකානුවන්ව විශ්වාස කරන්නේ නැහැ. ඇමරිකානුවන් නිතරම කියන්නේ ජපානයේ කොමියුනිස්ට් පක්ෂයේ දියුණුව දැකලා එයාලා සතුටු වෙන බවයි. ඒ වුනාට එයාලා ඔය ගොල්ලන්ටයි අපිටයි දෙගොල්ලන්ටම ආරක්‍ෂාවක් තියනවා කියලා බොරුවට පෙන්නලා එහෙම හැඟීමකට අපිව ඇද දාලා උත්සාහ කරන්නේ අපි ගැනයි අපේ සාමාජිකයන් ගැනයි වැඩි විස්තර දැනගන්නයි. ඒ නිසා සහෝදරවරුනි, හැම වෙලාවකම අපේ වැඩ සම්බන්ධව උපරිම මට්ටමක ආරක්ෂාවක් වගේම රහස්‍යභාවයක් තියා ගන්න එක ඉතාම අවශ්‍යයි.”

“අල්මා අටා වල අපේ ‘සමුළුවට’ ඔයාලගේ නියෝජිතයින් දහ දෙනෙක් තෝරා ගන්න ඔයාලට උපදෙස් දෙන්න බලය මට දීලා තියනවා. එහෙට යන අයට එයාලගේ සහකරු හරි සහකාරිය හරි අරගෙන එන්න පුළුවන්, නමුත් කාලත්‍රයාවත් දැඩි ලෙසත් සූක්ෂම ලෙසත් පරීක්‍ෂා කරලා අවසරය දෙන්න අපිට සිද්ධ වෙනවා. සහෝදරවරුනි, ඔයාලා මාව තේරුම් ගත්තාද? උපරිම දැඩි විදිහටත් සූක්ෂම විදිහටත්! ගෞරවනීය ජපානයේ කොමියුනිස්ට් පක්ෂයත්, ඒකෙ ඉන්න නිර්භීත සහෝදරයන්ගේ අනාගතයත්, සතියක සම්මන්ත්‍රණයක් නිසා අවදානමට ලක් කරන්න අපට අවශ්‍ය නැහැ. ඔයාලා මම කියන දේ අදහස තේරුම් ගන්න ඇති නේද, සම්මන්ත්‍රණය එච්චර අමාරු නැහැ.”

“ඒ නිසා, කෘෂ්චෙව් සහෝදරයා නිර්දේශ කරලා තියනවා, දකුණු කොරියාවේ තියන මේ හෝටලයේ ඔය ගොල්ලෝ ඔක්කොටම එක සැරේ කාමර වෙන් කිරීමක් කරලා වෙනස් වෙනස් ගුවන් ගමන් වලින් විවිධ වේලාවල් වලට එහෙට පියාසර කරන්න කියලා. ඔයාලා සෝල් අගනුවර ගුවන් තොටුපලට පියාසර කරලා, දේශ සීමාවට කිට්ටුවෙන් තියන මේ හෝටලයට කුලී රථයක් අරගෙන එන්න පුළුවන්. අගෝස්තු මාසයේ දෙවෙනි ඉරිදා වෙනකොට ඔයාලගේ කණ්ඩායම එක්රැස් වෙන්න ඕනේ. හෝටලයේ අයිතිකාරයා අපේ අරමුණු වලට අනුකම්පා කරන කෙනෙක්. එයා ඔයාලාව පරිස්සමින් දේශ සීමාව හරහා උතුරු කොරියාවට යවයි. උතුරු කොරියාවේ ඉඳන් අපි ඔයාලව කෙලින්ම අල්මා අටා වලට ගුවනින් අරගෙන එනවා. මේ විදහට ඔයාලගේ ගමන් බලපත්‍ර වල සෝවියට් සමාජවාදී ජනරජයේ හරි උතුරු කොරියාවේ හරි ඇතුල්වීමේ සටහනක් නොතබා වැඩේ කරගෙන යන්න පුළුවන්.”

“ඔය ගොල්ලෝ සංචාරය කරන සතිය ඉවර උනාම, අපි මුලින් කරපු ක්‍රියා පටිපාටිය ආපහු අනිත් පැත්තට හරවලා ක්‍රියාත්මක කරනවා. ඔයාල අපිත් එක්ක ඉන්නකොට, අවශ්‍ය වුනොත් හෝටල් අයිතිකාරයා ඔයාලා වෙනුවෙන් ආවරණය කරනවා. නමුත් අපි කිසිම කරදරයක් අපේක්ෂා කරන්නේ නැහැ. අපි මීට ඉස්සර කීප සැරයක්ම මේ මාර්ගය භාවිතා කරලා තියනවා. ඕගොල්ලෝ ජපානෙට ආයෙත් ආවම, ඔයාලා මෙහෙන් යන්න ඉස්සර කියපු දේවල් වලට අමතරව වෙනත් දේවල් කළා කියලා ඔයාලව සැක කරන්න කාටවත් හේතුවක් නැහැ.”

“අවසාන වශයෙන්, ඔයාලගේ ගමනේ හැම වියදමක්ම පියවා ගන්න, ඇමරිකානු බැංකුවකට බැඳී තියෙන බැඳුම්කරයක් මෙතන තියනවා.”

“මේකෙන් ඇත්තෙන්ම ඔයාගේ ත්‍යාගශීලී බව පෙන්වනවා, මරීනා ඇන්ටෝනෝවා සහෝදරිය, මම...අර් අපි ඔයාටයි කෘෂ්චෙව් සහෝදරයා සහ සෝවියට් සංගමයේ ශ්‍රේෂ්ඨ ජනතාවටයි මෙම ගෞරවයටත් ඒ වගේම ඔයාගේ ත්‍යාගශීලීභාවය වෙනුවෙනුත් කොහොම ස්තූති කරන්නද කියලා දන්නේ නැහැ, ඔයාට අපි මත සම්පූර්ණ විශ්වාසය තියන්න පුළුවන්.”

එම සංචාරය ඔරලෝසුවක් වැඩ කරන්නාක් මෙන් සුමටව සිද්ධ වූ අතර ඉන්පසු එය වාර්ෂික සිදුවීමක් බවට පත්විය. මරීනා ජපාන කොමියුනිස්ට් පක්ෂයෙන් පැමිණි දූත පිරිසට සත්කාරකත්වය සැපයූ අතර විශ්ව විද්‍යාලයේ ජපන් භාෂාව හදාරන සිසු සිසුවියන් අමුත්තන් හට මග පෙන්වන්නන්, කුඩා සත්කාරක කණ්ඩායම් සහ සේවිකාවන් ලෙස කටයුතු කළහ. ඔවුන් උදෑසන කාලයේදී දේශපාලන දේශන වලට සවන් දුන් අතර, දහවල් කාලයේදී වටාපිටාවේ දර්ශන නැරඹීමේ චාරිකා හෝ සංස්කෘතික උත්සව සඳහාද රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු සවස් කාලයේදී තවත් වැඩිදුර සංස්කෘතික උත්සව වලටද සහභාගී වූහ. මෙම සංචාරයන් ඉතා සාර්ථක වූ අතර සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය සහ මරීනා ඇන්ටෝනෝවා විසින් නිල නොලත් ලකුණු රාශියක් උපයා ගත්හ.

මරීනාට තමාගේ ඉලක්කය ක්‍රම ක්‍රමයෙන් ලඟා වන බවක් දැනෙන්නට විය. නමුත් එයට තවමත් බොහෝ දුරක් තුබූ බවද ඇයට පසක් වුනි. කෙසේ වෙතත්, ඇය තවමත් ජපානයේ තරමක් දුෂ්කර තත්වයන් යටතේ ජීවත්ව සිටින ඔවුන්ගේ ජපන් සහෝදරවරුන් ඉදිරියේ, සියල්ල සපයා දිය හැකි මහත්මියගේ චරිතය රඟපෑමට ප්‍රිය කළාය. එයින් අදහස් කලේ ඇය ඔවුන්ට පෙන්වා දුන් ආකාරයට සෝවියට් සංගමය ඒ වනවිට සියලු සැපෙන් සුඛිත මුදිත වී සිටියා යන්න නොවේ. නගරයේ තදාසන්න ප්‍රදේශවල සංක්‍රමණිකයන් හෝ සාමාන්‍ය ගොවි ජනතාව වෙනුවෙන් ඉදිකර තිබූ අඳුරු ජරාවාස කොන්ක්‍රීට් මහල් නිවාස සහ පැල්පත් පේළි දැකීමට අමුත්තන්ට අවශ්‍ය නැති නිසා ඇයට ඇගේ ගමනාන්ත, ඔවුන් ඒවා නොදකින ලෙස තෝරා බේරා සැකසීමට වගබලා ගත්තාය.

වසරක පමණ කාලයක් ගතවත්ම, මෙවන් එක් සංචාරයකදී, ඇයට හිරෝටෝ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ වන සුසුමේ සහෝදරිය කෙරෙහි විශේෂ ඇල්මක් ඇති විය. ඔවුන් දෙදෙනා ගැන එක් රැස් කර ගොඩනගා තිබූ ලේඛන අනුව, ඔවුන් ඔත්තු ලෙස ලබා දෙන්නේ වටිනාකමින් අඩු බොහෝ සුළු කාරණා වලට අදාළ තොරතුරු බව දැනගෙන සිටියාය. ඇයට ඉහලින් අණ ලැබී තිබුනේ ඔවුන්ගෙන් ඉහළ ශ්‍රේණියේ වටිනා තොරතුරු ලබා ගැනීමේ අදහසින් ඔවුන් සමග කිට්ටු ආශ්‍රයක් පවත්වා ගන්නා ලෙසටය. කෙසේ හෝ අවංකවම ඔවුන්ට ඇය තුල කැමැත්තක් ඇති බව ඇය තේරුම් ගත් අතර, එමගින් ඇගේ රැකියාව තව තවත් පහසු විය.

ඔවුන්ගේ සංචාරය අතරතුර කිහිප වතාවක්ම, සවස් වරුවේ සියල්ලන්ගේ විනෝදාස්වාද කටයුතු අවසන් වූ විට, ඇය ඔවුන් දෙදෙනාව රාත්‍රියේදී කෑම බීම දිගටම කරගෙන යා හැකි, අන් පුද්ගලයන්ට ඇතුළුවීමට අවසර නොතිබූ වඩාත් සීමිත ස්ථාන කරා රැගෙන ගියාය. අවාසනාවකට මෙන්, පියෝටර් ජපන් භාෂාව කථා නොකළ අතර මිසුකිවරුද රුසියානු භාෂාව කතා නොකළෝය. ඔවුන් ඉංග්‍රීසි භාෂාව යම් පමණකට කතා කළත්, කිසිවක් ඉගෙන ගැනීමට පෙර පියොටර් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමද අත්හැර දමා තිබූ බැවින් ඇය ඔහුට ආරාධනා කිරීමට කරදර නොවූවාය.

399
477,84 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
27 августа 2021
Объем:
300 стр.
ISBN:
9788835427223
Переводчик:
Правообладатель:
Tektime S.r.l.s.
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают