Читать книгу: «මළවුන්ගේ මධ්‍යස්ථානය», страница 3

Шрифт:

3 පෙක්හැම්, ලන්ඩන්

ඇන්ජලිකා ස්මිත් මහත්මිය, ගිනිකොන දිග ලන්ඩනයේ පෙක්හැම් හි සිය මුළුතැන්ගෙයිහි භාජන සෝදමින් සිටි අතර, ලියුම් පෙට්ටියේ දොර වැසෙන හඬ ඇයට ඇසුණි. එම උදෑසන, ඒ වන විටත් තැපැල් බෙදා හැර තිබුන බැවින් එය අනවශ්‍ය වෙළඳ දැන්වීමක් යැයි ඇය උපකල්පනය කළාය. කෙසේ වෙතත්, උදෑසන ආහාරය ගත් භාජන සෝදා දැමූ පසු ඇය, කුඩා තුවායකින් දෑත් පිසදා ගෙන කේතලය ලිප තැබුවාය. ඉන්පසු ක්‍ෂණික කෝපි තේ හැන්දක් ජෝගුවකට දැමූ ඇය ඉදිරිපස දොරටුව වෙත ගොස් තමාට විශේෂ දීමනාවක් ලැබී තිබේදැයි සොයා බැලුවාය.

ලැබෙන තැපැල් ලබා ගැනීමට භාවිතා කරන කම්බි කූඩයේ තිබුනේ එක් ලියුම් කවරයක් පමණි.

ටයිප් කරන ලද ලියුම් කවරයේ ඉදිරිපස සරලව තිබුනේ ‘ඇන්ජලිකා ස්මිත් මහත්මිය’ සහ ‘අතින් භාර දෙන ලදි’ යනුවෙනි. එය නව පුද්ගලික වෙළඳ දැන්වීමක් ලෙස ඇය උපකල්පනය කළ අතර එයට වඩාත් පෞද්ගලික පෙනුමක් ලබා දීමට උත්සාහ කර තිබු බවද නිරීක්ෂණය කළාය. එය විවෘත කිරීමට ඇයට කුතුහලයක් ඇති වූ අතර එය හුදෙක් ඇය තුළ තිබූ අනෙක් කනස්සලු සිතුවිලි වලින් මිදීමේ අවස්ථාවක් බව ඇය සාදරයෙන් පිළිගත්තාය. එහි ඇතුලත තනි ටයිප් කළ කොලයක් සහ මුද්‍රා තැබූ, නැමුණු ලියුම් කවරයක් විය.

වතුර නටා කේතලය ක්‍රියා විරහිත වනවා ඇයට ඇසුණු බැවින් ලිපිය සහ ලියුම් කවරය ඇගේ ඒප්‍රන් එකේ සාක්කුවේ දමාගෙන මුළුතැන්ගෙය වෙත ගොස් කෝපි ජෝගුවට උතුරන වතුර වත් කර විවේකාගාරය තුළට ගිය ඇය, ලිපිය රැගෙන එය කියවා බැලුවාය.

හිතවත් ස්මිත් මහත්මිය, මෙම ලිපිය අපගේ එක් ක්‍රියාකාරිකයෙකු විසින් ඔබේ නිවසට අතින් ගෙනවිත් භාර දී ඇත. ඔහු ඔබට හෙළි නොවන අතර නැවත ඔබව සම්බන්ධ කර ගන්නේද නැත. කලබල නොවන්න, මෙය තර්ජනයක් නොවන අතර කිසිදු කරදරයක් සිදු වන්නාවූ දෙයක්ද නොවේ. කිසිවෙකුට කිසිදු අනතුරක් නැත, නමුත් අමුණා ඇති ලිපිය කියවීමට පෙර කරුණාකර අසුන් ගන්න, මන්ද එය ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත. සුභ පතන්නෙක්.

ඇය කෝපි උගුරක් පානය කර සිනාසුණාය, රීඩර්ස් ඩයිජස්ට් හි සිටින අය ඔබ හට තැපැල් විවෘත කිරීම සඳහා ඕනෑම දෙයක් කිරීමට උත්සාහ කරති. රතු ලියුම් කවරය ඇයගේ අතට දැනුනි, එහි යතුරක් තිබුනි, ඔවුන් එතරම් වෙනස් වී නැතැයි ඇය සිතුවාය. මෙවර ඇය ජයග්‍රහණය කිරීමට ආසන්නව සිටි මුදල කෙතරම් ප්‍රමාණයක් දැයි බැලීමට ඇය එය විවෘත කළාය. ලිපිය ලියා තිබුනේ අතිනි.

මගේ ආදරණීය ඇන්ජි, ඔයා දන්නා පරිදි, මගේ මැණික, මම පිළිකාවක් සමඟ රෝගාතුරව සිටියෙමි, නමුත් ඔයා නොදන්නා කරුණ නම් විශේෂයෙන් එය විෂ සහිත ස්වරූපයක් ගන්නා පිළිකාවක් බවයි. ඔයා හිතන්නේ, මගේ ආදරය, මම ස්විට්සර්ලන්තයේ සායනයක ප්‍රතිකාර ලබනවා කියලයි, එය අර්ධ වශයෙන් සත්‍යයක් වූවත්, නව ඹෟෂධයක් පරීක්‍ෂා කිරීමේ විශේෂ වැඩසටහනකට මම සම්බන්ධ වුණා. ඹෟෂධය මාව මාව මරා නොදැම්මේ නම් වුනත්, මට සති කිහිපයක් පමණක් ජීවත් වීමට ඉතිරිව තිබුණි. මම ඹෟෂධය තෝරා ගත්තෙමි, ඔබ මෙම ලිපිය කියවන බැවින්, ඒවා වැඩ කළේ නැත. මත්ද්‍රව්‍ය අත්හදා බැලීම වෙනුවෙන් මගේ ත්‍යාගය ඩොලර් 500,000 කි. මහ වීදියේ ඇති අපේ බැංකුවේදී ඔයාගේ නමින් ඇති ආරක්‍ෂිත තැන්පතු පෙට්ටියක මෙම මුදලේ වටිනාකමට සරිලන සේ නැවත විකිණීමේ වටිනාකමක් ඇති ආභරණ එහි ඔබට හමුවනු ඇත. මෙම යතුරෙන්, පෙට්ටිය විවෘත කරන අතර ඔබට එයට ප්‍රවේශ වීම සඳහා මුරපදය වන්නේ අපේ බල්ලාගේ නම සහ බජී ගේ නම වන අතර, පසුව ඔබේ සම්පුර්ණ උපන් දිනය මගේ සම්පූර්ණ උපන්ද දිනයෙන් අඩු කලවිට ලැබෙන ප්‍රතිඵලයයි. දෙවන අකුරෙන් ආරම්භ කොට ඉන්පසු හමුවෙන අනෙක් සෑම දෙවැනි අකුරක්ම කැපිටල් අකුරු ලෙස ඇත. මෙම රහස කලින් ඔබට කීමට නොහැකි වීම ගැන මම සමාව අයදින නමුත්, කරුණාකර ඔබේ අනාගතය භුක්ති විඳින්න, මම ඔබ එනතුරු බලා සිටින බවට සහතික කරගන්න. මා ඔබට පැවසූ දේ සත්‍ය දැයි සොයා බැලීමට ඔබ උත්සාහ කළහොත්, රජය මේ සියලු දේ පිලිබඳ ඇති දැනුම ප්‍රතික්ෂේප කරන අතර, කිසිඳු දැනීමක් නොදන්නා පොලිසියට, වසර ගණනාවක් ගත විය හැකි පරීක්ෂණයක් සම්පුර්ණ වනතුරු ස්වර්ණාභරණ අත්අඩංගුවට ගත හැකිය. කෙසේ වෙතත්, ස්වර්ණාභරණ නීත්‍යානුකූලව මිලදී ගත් ඒවා බවත්, ඒ සමඟ එන විකිණුම් බිල්පත් අව්‍යාජ බවත් මම ඔබට සහතික වෙමි. ඒවා සත්‍යාපනය කර බැලීම සඳහා ඒවා මිලදී ගත් සාප්පුවට, ඔබට ආපසු ගෙන යා හැකි අතර ඔවුන් ඔවුන්ගේ පොරොන්දුවට ගරු කරන්නේ නම්, ඉදිරි දින හත තුළදී ඔබට මුදල් ආපසු ලබා ගැනීමට පවා හැකි වේ. කරුණාකර මා ගැන දුක් නොවන්න, මාගේ ප්‍රේමවන්තය, මම කෙසේ හෝ ඉක්මනින්ම මිය යාමට ඉඩ තිබූ අතර මේ ආකාරයෙන් මට කිසිඳු වේදනාවක් දැනුනේ නැති බව මම ඔබට සහතික වෙමි. ඇත්තෙන්ම ඔබ කැමති නම් මාගේ අසනීපය පිළිබඳ විස්තර අපේ සාමාන්‍ය වෛද්‍යවරයා සමග ඔබට පරීක්ෂා කර බැලිය හැකිය. මේ ආභරණ අවංක බව මම නැවත වරක් ඔබට සහතික වන නමුත් ඔබට පොලිසියට හෝ රජය වෙත යා නොහැක. ඔවුන් ක්‍රියා කරන ආකාරය එයයි, අනෙක් සියල්ල පරීක්ෂා කළ හැකිය, නමුත් එවන් දේ ගැන කරදර වන්නේ ඇයි? අවසාන කරුණ නම්, ගනුදෙනුවේ කොන්දේසියක් වශයෙන් පර්යේෂණ සඳහා මට මගේ ශරීරය වෙනුවෙන් අත්සන් කිරීමට සිදු වූ නිසා, මගේ දේහය ඔබට ලබා ගැනීමට හෝ ඒවා කොහේ තිබෙනවාද කියා කිසිදා දැන ගැනීමට නොහැකි වනු ඇත. මම ‘අතුරුදහන් වූවා කියා අනුමාන කළ අයෙකු’ වනු ඇත. මම හිතන්නේ, මම අතුරුදහන් වූ බව ඔබ පොලිසියට පැවසුවා නම් හොඳයි කියායි. මෙහි සිටින කාර්ය මණ්ඩලය මට සහතික වී ඇත්තේ මගේ මංගල මුදුව සමඟ මාව භූමදාන කරන බවයි. ඔබේ සදාකාලික ආදරණීය සැමියා, ටෝනි XXX "

ඇන්ජලිකා ලිපිය ඇගේ පපුවට තබා හඬා වැළපුනාය. ඇය සාමාන්‍යයෙන් වයින් වලට වඩා සැර කිසිවක් පානය නොකළ නමුත් ඇය කැබිනට්ටුව වෙත ගොස් අමරෙටෝ බෝතලයක් ගෙන ඇගේ ඉතිරිවී තිබූ කෝපි වලට විශාල ප්‍රමාණයක් වත් කළාය.

ඔබ වැන්දඹුවක් වී ඇති බව දැන ගැනීමට මෙය කුමන ක්‍රමයක්ද, ඇය සිතුවාය.

බොබ් නැවත ඇලබාමාහි බර්මින්හැම් වෙත පියාසර කළේ ලිහිල්ව තිබූ කෙලවර කිහිපයක් ගැට ගැසීමටය. ඔහුට නැවත රොන් මුණ ගැසුන නමුත්, හමුවීම සිදුවූයේ බොබ් විසින්ම තෝරා ගත් වෙනත් බාර් එකක් තුලදීය. එහි නම අවසාන මොහොත වන තුරුත් ඔහු හෙළි නොකළ අතර පසුව පවා, ඔහු රොන්ව අනුගමනය කරමින් ඔහු පසුපස කවරෙකු හෝ ඔහුගේ කැමැත්තෙන් හෝ කැමැත්තෙන් තොරව පැමිණේ දැයි බලා ගැනීම සඳහා, වීදියේ අනිත් පස රැඳී සිටිමින් දොරටුව දෙස බලා සිටියේය. සෑම කරුණක්ම ඉතා ආරක්ෂිත බව ඔහුට සහතික වූ පසු ඔහු බාර් එක ඇතුළට ගියේය.

"හරි, රොන්, ඔයාට ඒ ගැන හිතන්න දෙසතියක් තිබුනා. ඔයා ඒකට ලෑස්තිද?"

"ඔව්, ජිම්, දැන් මොකද වෙන්නේ?”

"මුලින්ම අපි අර බියර් ජෝගුවක් අරගමු. ට්‍රිම් ටැබ් රයි බ්‍රවුන් බීර, එයාලා ගාව ඒවා තියෙනවා නම්, අපට කරදරයක් නොවන විදිහට ඊට පස්සේ අපි කතා කරමු."

ඔහු වේටර්ට කතා කර ඇණවුම ලබා දුන්නේය. ඔවුන් දෙදෙනාට සම්පූර්ණ වීදුරුව බැගින් ලැබුණු විට බොබ් නැවත කතාව ආරම්භ කළේය.

"ඔයා මාරාන්තික විදිහට රෝගාතුරව හිටියට තාම වැඩ කරගෙන යන්න බැරි තත්වයට පත්වෙලා, නැහැ නේද?"

"ඔයා හරි. වේදනාවේ මට්ටම වැඩි වෙනවා, නමුත් මට තාමත් හොඳට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම මට ජීවත් වෙන්න මාස දෙකක් විතර තියනවා.”

"අපේ ව්‍යාපාරයේ ස්වභාවය නිසා, ඔයා අපිත් එක්කම එක හිතින් ඉන්නවා කියලා මට විශ්වාසයක් ඇති වෙනකම් මට හැමදේම ඔයාට කියන්න බැහැ දැනට. ඔයාට තේරෙනවා නේද?"

"එක විදිහකට ..."

“හරි, මම වැඩ කරන්නේ නේටෝ සංවිධානයේ රහසිගත ශාඛාවක. මම ජාතිකත්වයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. නමුත් නේටෝව ජාත්‍යන්තර ස්වභාවයෙන් යුක්ත වෙන එකක් කියලා ඔයා දැනටමත් දන්නවා ඇති කියලා මට විශ්වාසයි.

රොන් තම හිස සැලුවේය.

“ඒක ඉතා සියුම් විදිහට කියනවා නම්, මගේ රස්සාව සියදිවි නසාගැනීමේ මෙහෙයුම් සඳහා පුද්ගලයින් බඳවා ගන්න එකයි. මගේ දෙපාර්තමේන්තුවේ ‘විශේෂ නියෝජිතයින්’ විදිහට වැඩ කරන අය ජීවත් වෙන්නේ නැහැ. සදහටම.”

"ඔයාට තේරෙනවද?"

"ඔව්, එයාලා ඔක්කොම මැරෙනවා, මොන හේතුවක් හින්දද?"

“මට ඒක ඔයාට කියන්න බැහැ, නමුත් ඔයා එක්ක ඉතා අවංකව කිව්වොත්, මමවත් ඒ ගැන හරියට දන්නේ නැහැ. මගේ රස්සාව කට්ටිය බඳවා ගන්න එක විතරයි.”

"දැන්, ඔයාට සිතා ගන්න පුළුවන් විදිහට, ගොඩක් දෙනෙක්ට මේ වගේ මාරාන්තික රස්සා අවශ්‍ය නැහැ, නමුත් කෙනෙක් නොහිතන විදිහට මාරාන්තික විදිහට අසනීප වුනොත් ..."

"ඔව්, මට ඔයාගේ අදහස පේනවා, නමුත් ඇයි මම, ගෙදර හරි, රෝහලේදී ඇඳේදී හරි, මැරෙන්නේ නැතුව, ඔයාලා වෙනුවෙන් මැරෙන්න තීරණය කරන්න ඕනේ?"

“හේතු තුනක් ඔළුවට එනවා. පළවෙනියෙන්ම, ඔයා ඔයාගේ පවුලට එයාලගේ අනාගතයට හොඳින් සපයනවා; දෙවෙනියට, ඔයා වේදනාවෙන් මැරෙන්නේ නැහැ කියලා සහතිකයක් ලැබෙනවා, තුන්වෙනියට, ඔයා ඔයාගේ රටේ සහ ඒකේ මිත්‍ර රටවල් වල අවශ්‍යතා තවදුරටත් තහවුරු කරනවා."

"හරි, මගේ පවුලට කොච්චර මුදලක් හම්බ වෙනවාද, මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියලා මම දන්නේ කොහොමද?"

"හොඳ ප්‍රශ්න දෙකක්. ඔයාගේ පවුලට අඩුම වශයෙන් ඩොලර් 500,000 ක් ලැබෙනවා, නමුත් සමහර විට ඊටත් වඩා වෙන්න පුළුවන්. ඒක මෙහෙවර මත රඳා තියන දෙයක්, මෙහෙවරේ ප්‍රතිඵලය මත නෙමෙයි. ඔයා වේදනා රහිතව මැරෙනවා වුනත්, රජය ඒකේ අරමුණ ඉටු වුනත් නැතත්, ඔයාගේ පවුලට ගෙවනවා.”

“මගේ අක්තපත්‍ර එක්ක බලපුවහම, ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා කියලා මට කියන්න වෙනවා. ඔයා මගේ හරි, මම නියෝජනය කරන දෙපාර්තමේන්තුවේ පැවැත්ම තහවුරු කරගන්න හරි උත්සාහ කරොත්, ඔයාගේ රටේ වගේම මගේ රටෙත් ඔයාට නිහඬතාවයේ ගඩොල් පවුරකට මුහුණ දෙන්න සිද්ද වෙයි. මගේ පැවැත්ම කිසිම කෙනෙකු පිළිගන්නේ නැහැ වගේම, ඒක ඒ විදිහටම තියෙන්න ඕනේ. තව දෙයක්, ඔයාගේ දේහය හරි, ඔයාගේ දේහයේ කොටස් හරි, ඔයාගේ පවුලේ අයට භූමදානය සඳහා ලබා ගන්න බැහැ. ඒ වගේම තමයි ඔයාගේ මෙහෙවරේ අරමුණ ඔයා දන්නේ නැහැ, ඇත්තෙන්ම සාමාන්‍යයෙන් කියනවා නම්, කොහෙත්ම දන්නේ නැහැ.”

“ඔයාගේ අභාවයෙන් පස්සේ අපි ඔයාගේ බිරිඳට හරි, ඔයා කැමති ඕනෙම කෙනෙකුට, ඔයා කැමති ඕනෑම දෙයක් කියන්න පුළුවන් විදිහට ඔයාම ලියපු ලියුමක් අපි භාර දෙනවා.”

"මම කැමතියි නම්, මම ආයේ එන්නේ නැති අවස්ථාව පහු කරන්නේ කවදාද, සහ මගේ බිරිඳට මුදල් ගෙවන්නේ කොහොමද?"

"මුලින්ම මුදල් ගැන මං කියන්නම්. ඔයා කැමති විදිහකට ඒක ගෙවනවා. නමුත් අපි මුදල් වලට විරුද්ධව උපදෙස් දෙන්න කැමතියි. ස්වර්ණාභරණ හරි, එහෙම නැත්තම් දරන්නාගේ නමට ලියපු බැඳුම්කර, ගොඩාක් සුදුසු වෙනවා. සම්පූර්ණ මිලදී ගැනීමේ ලියකියවිලි එක්ක අපි ඒවා ඔයා කැමති බැංකුවක ආරක්ෂක පෙට්ටියක තියනවා. කිසිම කෙනෙක්ට බැහැ, ඒක නීතිමය වශයෙන් ලබන්න ඕනේ කෙනාට අයිති දෙයක් නෙමේ කියලා ඒකට විරුද්ධව ක්‍රියා කරන්න.”

“ආපසු එන්න බැරි අවස්ථාව නම්, ඔයාගේ නිශ්චිත මෙහෙවර අපි ඔයාට හෙළිදරව් කෙරුවයින් පස්සේ තමයි. සාමාන්‍යයෙන් ඒ කියන්නේ, ඔයා ඒක ඉවර කරන්න දවස් තුනකට විතර ඉස්සර තමයි. ඔයාගේ කොටස ලේසියි, ශාරීරිකව අභියෝගයක් නැහැ, නමුත් ඒක ඔයාගේ මරණයටත්, ඒ වගේම අන් අයගේ මරණයටත් හේතු වෙනවා.”

"ඔයාට සදාචාරාත්මක වශයෙන් විරෝධයක් තියෙනවද?"

"මට විශ්වාස නැහැ, මම හිතන්නේ, මැරෙන්නේ වෙන කවුද කියන දේ උඩ තමයි ඒක තීරණය වෙන්නේ."

“මේ මෙහෙයුම සැඟවුනු එකක් වගේම අනතුරුදායක එකක් වෙන නිසා හැම වෙලාවකම වගේ ළඟ ඉන්න අයටත් හානි සිදු වෙන නිසා ඔයා නිශ්චිතවම ‘නැහැ’, කියලයි සත්‍යවශයෙන්ම ‘නැහැ’ කියලා ඒකට උත්තර දෙන්න ඕනේ. වරදවලා වටහා ගන්න එපා, අහිංසක සිවිල් වැසියන් මැරෙන්න පුළුවන්, නමුත් බලාපොරොත්තු වෙන තරම් නෙමෙයි. ඒක දෙපාර්තමේන්තුව එයාලගේ මූලෝපායන් ඇතුලේ ගොඩනඟන දෙයක්.”

"මට තේරෙනවා. මම ඇමරිකාවේදී මැරෙයිද?”

"මට ඒක කියන්න බැහැ, මොකද මම ඒ ගැන දන්නේ නැහැ .. ඔයාට තාමත් මෙහෙවරක් පවරලා නැහැ, ඒ වගේම ඒක දැනගන්නේ ඔයාගේ මූලික පුහුණු පාඨමාලාව හැදෑරුවායින් පස්සේ."

“ඒකට ඇතුළත් වෙන්නේ මොනාද? මට හැතැක්ම ගණන් දුවන හරි, පහර දෙන හරි පාඨමාලාවක් සම්පූර්ණ කරන්න පුළුවන් කමක් නැහැ, ඔයා දන්නව නේද?”

“මේ පාඨමාලාව ඒ වගේ එකක් නෙමෙයි. නමුත් ඔයාව ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලත්, ඔයාව රඳවා ගන්න උත්සාහ කරන අයගෙන් බේරිලා යන විදිහත් ඔයාට කියලා දෙයි. මට හෙට උදේම පිටත්වෙලා යන්න ඕනේ නිසා, අද රෑ ඔයා මේකට එකඟ වුනොත්, මම ඔයාව වැඩසටහනට ඇතුළත් කරනවා. සති දෙකක විතර කාලයක් ඇතුලත ඔයාට මේ ගැන කෙටි උපදෙස් මාලාවක් ලැබෙයි, ඒ ලියුමේ තියන හැම දේම ඔයා අකුරටම කරන්න ඕනේ කියලා කියනවා ඇරෙන්න, මේ වෙලාවේ මට තවදුරටත් ඔයාට කියන්න දෙයක් නැහැ.”

“ඔයා මේ වැඩේට සම්බන්ධ වෙන නිසා, සති දෙකක් විතර කාලයක් ඔයා පිට ඉන්න වෙනවා. ඒ නිසා ඔයාගේ පවුලටයි, හාම්පුතාටයි කියන්න ඕනේ දේවල් කියලා තියන්න. ඒක ඉවරවුනාට පස්සේ ඔයාව අපි ආයෙත් සම්බන්ධ කර ගන්නවා. වේදනාවකින් තොරව සති හයක් ඇතුළත ඔයා මැරෙනවා, එතකොට ඔයා ඔයාගේ පවුලට බදු රහිත විශාල මුදලක් ඉතුරු කරලා යනවා, එයාලගේ ජීවිතය ආයෙත් අලුතින් පටන් ගන්න.”

"අපි තවත් ජෝගුවකුයි, විස්කියි ඇනවුම් කරමු, ජිම්."

දින කිහිපයකට පසු, නෙවාඩාවට පියාසර කරන ලෙසත්, සැටලයිට් සංචලන උපාංගය සහිත කාර් එකක් මිලට ගෙන සිතියමෙහි පෙන්වා තිබූ නිශ්චිත ස්ථානයකට යන ලෙසත් රොන්ට කෙටි පණිවිඩයක් ලැබුණි. රොන් තම හාම්පුතාගෙන් සහ සගයින්ගෙන් සමුගත්තේ සති දෙකක නිවාඩු කාලයක් ගත කිරීමට යන බව පවසමිනි. තමාට පුහුණු පාඨමාලාවක් සඳහා යාමට සිදු වූ බව ඔහු තම බිරිඳට පැවසූ නමුත් එය ඔහුගේ රැකියාව සමඟ සිදු වූවක් යැයි උපකල්පනය කිරීමට ඔහු ඇයට ඉඩ දුන්නේය.

ඔහු දැඩි බලකොටු සහිත සංකීර්ණය වෙත පැමිණි විට, ඔහුව නවතා ඔහුගේ හදුනාගැනීමේ පත්‍ර ඉල්ලා සිටියෝය. ඔහුට ලබා දී තිබුනේ ‘මළ මධ්‍යස්ථානය’ යන්න පමණි, නමුත් ඔහු එය කී විගසම ඔහුව පිළිගෙන ලබා දිය හැකි සෑම ආගන්තුක සත්කාරයක්ම ලබා දුන්නෝය.

ආගන්තුක සත්කාරය යනුවෙන් මූලික වශයෙන් අදහස් කළේ නොමිලේ නවාතැන්, නොමිලේ ආහාර, නොමිලේ බීම සහ නිදහස් කාන්තාවන් යන්නයි. ‘මළ මධ්‍යස්ථානය’ අදාල බිල්පත් ලබා ගත් අතර ඉතා හොඳ පාරිභෝගිකයෙක් විය.

කඳවුර තුළ විවිධ පුහුණු වැඩසටහන් තිබෙන බව රොන්ට පෙනුණි. ඔහු යෙදුනාවූ පුහුණු වැඩ සටහනට බොහෝ ශාරීරික වෙහෙසවීම් අවශ්‍ය වූ අතර, එහිදී පිස්තෝලයක් සහ පිහියක් භාවිතා කරන ආකාරය සහ උගුරු ඇටයට එල්ල කරන්නාවූ සරල පහරක් මගින් විරුද්ධවාදියෙකු ඉවත් කර ගන්නා ආකාරය සහ ඔහු කතා කරන විට ඔහුගේ කටෙහි කෙළ පුරවා, ඒවා ඉවතට විසිරී යන අන්දමින් කතා කරමින් අන් තැනැත්තාගේ අවධානය වෙනතකට යොමු කරන ආකාරය ගැන ඔහුට කියා දුනි.

ඔහු තම රාජකාරියේ යෙදී සිටියදී ඇතිවිය හැකි කලබල වීමක්, බයවීමක් පාලනය කර ගත හැකි වන පරිදි සන්සුන් වන යෝගා ආශ්වාස කිරීමේ ව්‍යායාම් ක්‍රම ද එහි ඉගැන්වීය.

කඳවුරේ සිටින කිසිවෙකුගේ අනන්‍යතාවය හෙළිදරව් නොවූ අතර කිසිදු ආකාරයක අධිශික්ෂණයක් නොතිබුණද, රොන්ට හැඟී ගියේ එහි සිටි බොහෝ පිරිමින් දක්ෂිණාංශික සංවිධානවල සාමාජිකයින් බවත්, සටන් ශිල්ප ක්‍රම ඉගෙන ගැනීමට එහි සිටි බවත් ය. එය පවත්වාගෙන ගියේ රජය මගින් හෝ නේටෝව මගින් නොවන බව ඔහු තේරුම් ගත්තේය. ‘මළ මධ්‍යස්ථානය’ යනු ඔවුන්ගේ මුරපදය පමණක් වූ අතර, ඔහු කතා කළ වෙනත් කිසිවෙකු එය අසා නැති බව පෙනුණි.

කඳවුරේදී රොන්, ඇත්තෙන්ම හොඳ කාලයක් ගත කළේය.

ඔහු වට දහස් ගණනක් වෙඩි තැබුවේය, සෑම දිනකම, අවම වශයෙන් වෙනස් කාන්තාවක් සමඟ නිදාගෙන ස්වාමියෙකු මෙන් අහාර අනුභව කළේය. ඇයි එහෙම නොකළ යුත්තේ? ඔහු සිතුවේය. මසක් ඇතුලත ඔහු බොහෝ දුරට මිය යාමට නියමිතව තිබුණි. තමා රෝම ග්ලැඩියේටර් කෙනෙකු හා සමාන යැයි ඔහු මනඃකල්පිත සිතුවිලි අතර සිරවී සිටි අතරම ඔහුගේ වාසනාව වැඩි කාලයක් රැඳී තිබිය නොහැකි බව තේරුම් ගත්තේය.

ඔහු මරණයට සූදානම් වෙමින් සිටියේය. ඔහු ජිම්ව විශ්වාස කළ නමුත්, එය ඔහුගේ සැබෑ නම නොවන බව ඔහු වටහා ගත් අතරම ජිම් පැවසූ ආකාරයට තමා නේටෝවට සේවය කරන බවත් ඔහුගේ සීයා දෙවන ලෝක සංග්‍රාමයේදී කල ආකාරයට තම රටට සහ එහි සගයන්ට උපකාර කිරීම ගැන ඔහු ආඩම්බර වන බවත් තේරුම් ගත්තේය.

ඔහු මේ කාරනාව දුටු ආකාරයට, ඔහුව වේදනා නාශක වලින් පොම්ප කර, ඔහුගේ පවුලේ අයගේ සහ මිතුරන්ගේ අනුකම්පාව දක්වන මුහුණු දැක බලා ගනිමින් රෝහලකදී මිය යා හැකිය. නැතහොත් මිනිසෙකු මෙන් මිය ගොස් ඔහුගේ පවුලට යහපත සලසා තම රටට සේවයක් වන යමක් කළ හැකිය.

ඔහුට බිහිසුණු පිපිරුමක් සමගම මෙලොවින් පිටව යා හැකිය, ඔහු එසේ සිතුවේ දරුණු ලෙසටය.

රොන් වැනි මිනිසෙකුට, එය ගැනීමට ඉතා පහසු සහ ඉතා සුළු සිතුවිලි ප්‍රමාණයක් අවශ්‍ය වන තීරණයකි. ඔහුට වයස අවුරුදු පනස් නවයක් වූ අතර වියට්නාමයේ, ජාතික සේවා සංචාර දෙකක් නිමකර තිබිණි. ඔහු තම රටට ආදරය කළ අතර ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කිරීමට කිසිදු පසුතැවීමක් නොවීය. එනම් ඔහුට වයස අවුරුදු 19 දී කළ අවදානම මෙන්, නමුත් මෙවර, ඔහුගේ පූජාව සඳහා සැලකිය යුතු මුදලක් ලැබෙනු ඇත, නැතහොත් අවම වශයෙන් ඔහුගේ බිරිඳට වුවත්, එය ඉතා හොඳ සැකැස්මක් විය.

ඔහුට වීරයෙකු ලෙස බොහෝ දෙනෙකුට උදව් කිරීමේ හැකියාව තිබියදී කිසිවෙකු උදෙසා වැය නොවී රෝහලකදී මිය යාමේ අරමුණ කුමක්ද?

රොන් කාර්යයට කැමති විය.

ජෙනාරෝගේ තවත් ඇමතුමකින් පසු ගරෙග් නැවතත් ඔහුගේ මන්දිරය වෙත පැමිණියේය.

“ඉතිං ජෙනාරෝ, මම ඔයා වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? ඔයාගේ අදහස වෙනස් කරාද?”

"නැහැ, එහෙම නැහැ, මගේ මිත්‍රයා, සමහර විට මට ඔයාට තවත් වැඩක් තියනවා දෙන්න, ඒ වගේම අනෙක් වැඩේ ස්ථිර කරගන්නත් මට ඕනේ."

ජෙනාරෝගේ සහ ගරෙග්ගේ දැන හැඳුනුම්කම් බොහෝ ඈතට ගිය නමුත් ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිම්වල අය වූහ. ජෙනාරෝ උපත ලැබුවේ ධනවත්, ප්‍රචණ්ඩකාරී දකුණු යුරෝපීය පවුලක වන අතර ගරෙග් උපත ලැබුවේ බටහිර වේල්සයේ, ශාන්ත ඩේවිඩ් අසල බැටළු ගොවිපලක ය.

ඔවුන් දෙදෙනාගේ හමුදා වෘත්තීන් නිසා ඔවුන්ගේ මාවත් එකිනෙක හමුවී තිබුණි. ගරෙග් 2 වන බලඇණියේ පැරෂුට් රෙජිමේන්තුවට සම්බන්ධ වී SAS වෙත ගිය අතර ජෙනාරෝ, ඔහුගේ පියා හට ඔහු පවුලේ ව්‍යාපාරවලට සම්බන්ධ වීමට අවශ්‍ය වනතුරු, ප්‍රංශ නිත්‍ය හමුදාවේ වසර තුනක් සේවයට බැඳුන අතර ඉන්පසු විදේශීය හමුදාවේ ස්වේච්ඡා සේවයට එක්විය.

පියාගේ එම ව්‍යාපාරවලට, මාර්සේ ප්‍රදේශය ආසන්නයේ, දකුණු වෙරළ තීරයේ නීත්‍යානුකූල සාප්පු දුසිම් ගණනක් සමග නියෝජිත ව්‍යාපාරයන් ඇතුළත් වූ නමුත් දකුණු ප්‍රංශය පුරා ගණිකා නිවාස සහ බාර් දහස් ගණනක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයක් ද ඇතුළත් විය.

බැංකු මංකොල්ලකෑම්, පැහැර ගෙන කප්පම් ගැනීම්, රක්‍ෂණ වංචා, මුදල් විශුද්ධිකරණය සහ පැහැර ගැනීම් වැනි වඩාත් බරපතල සංවිධානාත්මක අපරාධවලට ද ඔවුහු සම්බන්ධ වූහ. ගෙරෙග්ගේ නියෝජිත ආයතනය වන ‘මළ මධ්‍යස්ථානය’ සමඟ ගෙනාරෝ බලාපොරොත්තු වූයේ එම ව්‍යාපාර කොටසද වැඩි දියුණු කිරීමටයි.

රුවන්ඩාවේ SAS සහ විදේශ හමුදාව අතර හවුල් කටයුත්තකදී ඔවුන්ගේ මාවත් එකිනෙක හමුවී තිබූ අතර එබැවින් ඔවුන් වසර විසිපහක් පුරා එකිනෙකා දැන සිටියහ. ඒ දිනවල එකිනෙකා හා සම්බන්ධතා පැවැත්වීම සැම විටම පහසු නොවූ නමුත් ඔවුන් දෙදෙනාම මේ වනවිට ‘විශ්‍රාමික’ බැවිනුත් ජංගම විදුලි සංදේශ හා අන්තර්ජාල ආගමනය නිසා ඔවුන් හට දැන් නිතිපතා සම්බන්ධතා පැවැත්වීමට හැකියාව ලැබුණි.

දෙදෙනාම තම හැකියාවන් සහ අනෙකාගේ හැකියාවන් පිලිබඳ දැන සිටි අතර ඔවුන් එක හා සමාන දක්ෂතා වලින් යුතු භයානක පුද්ගලයින් බවද තේරුම් ගත්හ. ඔවුන් යම් විටෙක, එකිනෙකාට විරුද්ධ පාර්ශව කරුවන් බවට පත් වුවහොත් ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න ගැන දෙදෙනාටම විශ්වාස නොතිබුණි. මිනිසුන් දෙදෙනාම වරින් වර එම තත්වය ගැන තම පරි චින්තනයේ මවා ගත්තද, එය යථාර්ථයේදී සිදු විය හැකි දෙයක් බව දෙදෙනාටම නොපෙනුණි. ඔවුන් දෙදෙනාටම, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් උපන් ගැඹුරු කැමැත්තක් තිබුන නමුත් යම් තල්ලු කිරීමක් පැමිණියහොත් එකෙකු අනෙකා මරා දමන බව ඔවුන් දැන සිටි නමුත් ඇත්තෙන්ම එසේ වන්නේ ඔවුන්ට කළහැකි වෙන කිසියම්ම දෙයක් නැතිවූ විට බවත් දැන සිටියහ.

සියල්ලටම වඩා, ව්‍යාපාර යනු ව්‍යාපාර වේ.

"ගරෙග්, මට ඔයාගේ සහභාගී වෙන්නෙක් ඕනේ, ඔයාගේ විශේෂිතවූ කෙනෙක්, මගේ හිතේ තියන සැලැස්මකට. අපි කවදාවත් ඔයාගේ සේවය පාවිච්චි කරලා නැහැනේ, අපිට ඉවර කරන්න සුළු කාරණාවක් තිබ්බා වුනත් … ඔයා පොරොන්දු වුන දේවල් ඉෂ්ඨ කරන්න ඔයාට තියන හැකියාවන් ගැන මට කිසිම සැකයක් නැහැ. ඔයාට මං වෙනුවෙන් තවත් පුද්ගලයෙක් ඉන්නවද?"

"දෙවෙනි ව්‍යාපාරයට හරියටම ඇතුළත් වෙන්නේ මොකක්ද?"

"ඉස්සෙල්ලා වගේම විස්තර තියන ෆෝල්ඩරයක් මං ලෑස්ති කරලා තියනවා. නමුත් දැනට මට කියන්න තියෙන්නේ එය දැඩි විනාශකාරී දෙයක් වගේම ක්‍රියාකරුගේ ජීවිතය හානි වෙන දෙයක් කියලයි.”

"මට තේරෙනවා. ඔව්, මට විශ්වාසයි අපිට මෙහිදී ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි කියලා."

"කවදාද, කොහේද සහ කොච්චරක්ද? මම ඔයාට වැඩි කාලයක් දෙන්න උත්සාහ කරාට, මේ වෙන දේවල් නිසා මාව සීමා වෙලා තියෙන්නේ. ඒක ජර්මනියේ, දවස් තිහකට විතර පස්සේ වෙන්නේ. ඉතින්, සල්ලි? මගේ මිත්‍රයා ඔයා කොච්චර ගානක් අය කරනවද?”

"ම්ම්ම්, ඇත්ත වශයෙන්ම, මා ගාව ඔක්කොම කරුණු කාරනා නැහැ, ඇත්තෙන්ම. නමුත් උපකරණ ජර්මනියට ඇතුළු කරන එක අමාරුයි, එයාලා හොඳට සංවිධානය වෙලා ඉන්නේ, නමුත්, කෙටි දැනුම් දීමක් නිසා අපි කියමුකෝ ඩොලර් මිලියන 1.5 ක් කියලා, ජෙනාරෝ."

“මිත්‍රයා, ඔයාගේ සේවාවන් වල ගණන් වැඩියි. ඒ වුනාට මම, ඔයාගේ රඳා පැවැත්ම විශ්වාස කරනවා, අන්න ඒකට වටිනාකමක් තියනවා. ඒ නිසා මම ගානට කැමති වෙනවා. මේ වගේ හොඳ ගනුදෙනුකරුවෙක් වෙච්ච නිසා මගේ තුන්වෙනි එක මිලට ගන්නකොට මට වට්ටමක් ලැබෙයි නේ.”

"සමහර විට."

ඔවුන් තම වීදුරු එකට වැද්දූ අතර දෙදෙනාම දැන සිටියේ ගනුදෙනුව සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ එපමණක් බවයි. ජෙනාරෝ, ගරේග් හට ෆෝල්ඩරය භාර දුන්නේය.

"ඉතිං, මේක දෙවෙනි මෙහෙයුමද? ඔයා පලවෙනි එක නිශ්චිත කාලයකුයි, තැනකුයි, දිනයකුයි නැතුව නියම කරගෙන ඉන්නවා, ඒක වෙන්නේ නුදුරු අනාගතයේ, මේ පැත්තේ කිය කිය. ඒ වගේම ඔයා කැමතියි, ඒකට සහභාගී වෙන එක්කෙනාව, හරි වෙලාව එනකං ඔයාගේ ගෙදර නැවතිලා ඉන්නවට. ඒ වගේම ඔයාට තව මෙහෙයුමක් තියනවා, එසෙන් වල, දවස් තිහකට පස්සේ?”

“ඒක හරි. ගැටලුවක් තියෙනවද?"

“නැහැ, කොහොමත් නැහැ. සහභාගි වෙන අය අපි ගාව ඉන්නවා, ඒ වගේම ඕනේ උපකරණත් අපි ගාව තියනවා. ඇත්ත වශයෙන්ම, සහභාගි වෙන අය, අපි මේ කතා කරන වෙලාවෙත් පුහුණුවීම් කර කර ඉන්නේ. කවදද ඔයාට, සහභාගි වෙන කෙනෙක් මෙහෙ නවතින්න එන්න ඕනේ?”

"අපි ඒක ඒ විදිහට නොකියා ඉමු, ගරෙග්. එයාට වත්තේ තියන අමුත්තන්ට වෙන් වෙච්ච ගෙදරකුයි, එයාට ඇසුරු කරන්න ගෑනු ළමයෙකුයි දෙමු. එයාගේ අන්තිම දවස් පුළුවන් තරම් සුවපහසුව තියන්න අපි උත්සාහ කරමු.”

“ඔව්, මට විශ්වාසයි ඔයා ඒ දේ එහෙම කරයි කියලා, ජෙනාරෝ, ඔයා හරිම ත්‍යාගශීලී යි, මට විශ්වාසයි එයා ඒක ගොඩක් අගය කරයි කියලා. ඉතිං, ඔයාට එයාව ඕනේ වෙන්නේ කවදා වගේද?”

“ඔයා කැමති ඕනෑම වේලාවක, ඔයා කැමති ඉක්මනින්ම. ඔයා එයාට යමක් කියනවද, නැත්නම් මම එයාට ඒ ගැන විස්තර කරන්න ඕනෙද?”

"නැහැ, ඔයා කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයාගේ ඇත්ත නම මොකක්ද කියලවත් එයාට කියන්න ඕනේ නැහැ. මොකද එයා මෙහෙන් යන්නේ මැරෙන්න නිසා කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියන්න එයාට ඉඩක් හම්බවෙන්නේ නැහැ. පොදුවේ ගත්තහම, ඔයා ඔයාගේ සම්බන්ධතාවය පෞද්ගලික මට්ටමක තියා ගන්නවා නම් වඩා හොඳයි. මම ඔයාව එයාට අදුන්වලා දෙන්නේ, මට කරන පුද්ගලික උදවුවක් විදිහට, එයාගේ මෙහෙයුම එනකන් එයාව තියාගන්න කැමති මගේ යාලුවෙක් විදිහටයි. එයාගේ පරම සේවායෝජකයා ඔයා කියලා එයා දැනගන්න අවශ්‍ය නැහැ.”

"හොඳයි! ඒ ක්‍රමය මට හොඳින් ගැලපෙනවා. එහෙනම්, ඔයා කැමති ඉක්මනට එයාව මෙහෙට එවන්න, නැත්නම් එක්කං එන්න. එතකොට, අනිත් එක්කෙනා?"

"අපි එයාව එසෙන් වල දවස් දෙකකට ඉස්සෙල්ලා, සමහරවිට තුනකට ඉස්සෙල්ලා, ඔයා කියපු තැන තියලා තියන්නම්. ඔයාගේ විශිෂ්ඨ සවිස්තරාත්මක සැලැස්මට අනුව, ඔයා කියපු වෙලාවට පැයකට කලින් එයා ඉඳියි."

"ඔයාට ස්තුතියි. අපේ ඉල්ලක්කය සතුටු කරන්නයි."

"අපිත් එහෙමයි. 'මළවුන්ගේ මධ්‍යස්ථානය'!” ඔවුන් දෙදෙනාම සිනාසුණහ.

ජෙනාරෝ, මම හෙට ආපසු යනවා, නමුත් මම දවස් පහකින් ඔයාගේ බෝඩින්කාරයා එක්ක ආයෙත් එනවා. ඒක අවුලක් නැහැ නේද?”

"ඔව්, ගරෙග්, නියමයි.”

"ජෝර්ජ්," ඔහු ප්‍රධාන සේවකයා වෙත හැරී, "ගෑනු ළමයිට කියන්න දැන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. කෝකියාට කියන්න රෑ කෑම ගේන්න කියලත්, ඒ වගේම විනෝදය දැන් පටන් ගන්නවා කියලත් කියන්න.”

"හොඳයි සර්, මම දැන්මම ඒ වැඩ ටික බලන්නම්.”

"බොබ්, ඔයා තාමත් ඉන්නේ ඇමරිකාවේද?”

"ඔව් සර්."

“මම දැන් අනුග්‍රාහකයෙක් එක්ක ඉන්නේ, එයාට සහභාගිවන්නන් දෙන්නෙක් ඕනේ. එක්කෙනෙක් පුළුවන් තරම් ඉක්මනට, අනිත් කෙනා දවස් දාසයකින්. අපට ඒක කළමනාකරණය කරගන්න පුලුවන්ද?”

"පුළුවන්, ගරෙග්, මොන තැන් වලටද?"

“දෙන්නම යුරෝපයට. ඇයි? ඔයාට වීසා බලපත්‍ර හරි විදේශ ගමන් බලපත්‍ර ගැන හරි ප්‍රශ්න තියනවද?”

“නැහැ, ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මම අද සහභාගිවන්නන් සහ උපකරණ පරීක්‍ෂා කරලා බලලා ඔයාට, ඔව් හරි, නැහැ හරි කියලා කෙටි පණිවිඩයක් එවන්නම්. නමුත් මට ගැටලුවක් නම් පේන්නේ නැහැ. හැම දෙයක්ම නියම විදිහට ලෑස්ති කරලා තියෙන්නේ. ඔයා හතරක් කියලා කිව්වා නම් තත්වය වෙනස් වෙන්න තිබුනා, නමුත් දෙකකට කිසිම ගැටළුවක් නැහැ.”

"පැයක් ඇතුළත ඔයාට මගෙන් අහන්න ලැබෙයි."

"හොඳ මිනිහා. එහෙනම්, දැනට බායි."

"ආපු එක ගැන ස්තූතියි, රොන්. මට දැන් මගේ අංශය භාර නායකයාගෙන් ඇමතුමක් ලැබුනා. ඔයාට අවශ්‍ය නම්, අපට ඔයා වෙනුවෙන් මෙහෙයුමක් තියනවා, ඔයා දැන්මම කැමති නැත්තම් ඒක අත්හැරලා දාන්න පුළුවන්.”

"ඒ කොහෙදිද?"

"යුරෝපයේදී. ප්‍රංශයේ."

"මට විදේශ ගමන් බලපත්‍රයක් තිබුනත්, වීසා බලපත්‍රයක් නැහැ, ඒක ගැටලුවක් වෙන්න පුළුවන් නේද?"

"නැහැ, ඔයාට අපරාධ වාර්තාවක් නැත්තම්, ගැටළුවක් නැහැ."

"මම හෙට ඒකට සම්බන්ධ වෙන්නම්."

"හොඳයි, තවත් බියර් සහ විස්කි ගන්න, රොන්, මම මගේ උසස් නිලධාරියාට මේ ප්‍රවෘත්තිය ලබා දෙනකම්." ඔහු තම ජංගම දුරකථනය පිටතට ගෙන කෙටි පණිවිඩයක් යැවීය - ‘හැම දෙයක්ම ලෑස්තියි’.

බොබ් සහ රොන් දින දෙකකට පසු නැවත එක්සත් රාජධානියට පියාසර කළහ. බොබ් සිය රේන්ජ් රෝවර් රථය හීත්‍රෝ රථගාලෙන් ගෙන කාඩිෆ් වෙත එය පැදවු අතර එහිදී ඔහු පැරණි හේස් මාර්කට් පෙදෙසේ පිහිටි ‘මැරියට්’ හෝටලයෙහි රොන්ව නැවැත්විය. ඔහු ඔහුට පවුම් 500 ක් ලබා දී නිරිතදිග වේල්සයේ ශාන්ත ඩේවිඩ්ස් අසල පිහිටි ගරෙග්ගේ ගොවිපළට ගියේය.

“මාර්සේ වල වැඩේට සහභාගිවෙන කෙනා කාඩිෆ් වල මැරියට් එකේ ඉන්නවා. අනිත් කෙනා උපදෙස් බලාපොරොත්තුවෙන් මැන්චෙස්ටර්හි තියන එයාගේ ගෙදර ඉන්නවා. උපකරණ ලෑස්තියි; ඇත්ත වශයෙන්ම දැන් කරන්න තියෙන්නේ අවසාන එකලස් කිරීමයි නැව්ගත කිරීමයි විතරයි.”

"බොහොම හොඳින් කළා. උපකරණ ටික යන තැනට යවන්න දැන්මම වග බලා ගන්න එක වඩා හොඳයි. අපිට දවස් තුනකින් මාර්සේ වල එක පැකේජයක් තියන්න වෙනවා, දවස් දහයකින් එසෙන් වල අනිත් පැකේජයත් අවශ්‍ය වෙනවා. සම්පූර්ණ විස්තර මේකේ තියනවා.” ඔහු බොබ්ට ලියුම් කවරයක් දුන්නේය. "පැකේජ් ටික අරගෙන ටයන්න ලෑස්ති වෙච්ච මිනිස්සු ඉන්නවද?"

"ඔව්, ගරෙග්, ඒක අමාරු වෙන එකක් නැහැ."

"එසෙන් වල අපි අඳුරන කවුරුත් ඉන්නවද?"

“නැහැ, නමුත් ඒක ගැටලුවක්නෙමෙයි. අපි පැකේජය භාර දෙනකන් රියදුරා පැකේජයත් එක්ක හෝටලයක නැවතීලා ඉඳියි.”

“ඔව්, ඒක සම්පූර්ණයෙන්ම සතුටුදායකයි. ඔයා වහාම ඒ කටයුතු වලට සම්බන්ධ වෙන එක වඩා හොඳයි. එක් පැකේජයක් ජෙනාරෝ ගාවට යවන්න.”

"ඔව් ගරෙග්. මම තැන දන්නවා. ඔයා මාර්සේ කියනකොට එයා සම්බන්ධයි කියලා මට හිතුනා. සහභාගිවෙන කෙනාව ඔයා භාර අරගෙන ගෙනියනවද?”

"ඔව්, මම හෙට කාර්ඩිෆ් ගීහින් එයාව අරගෙන යන්නම්. අප සවස මාර්සේ වල ඉඳියි. ඊට පැය හතලිස් අටක් ඇතුළත ඔයාට පැකේජය එහෙට ගන්න පුළුවන් ද කියලා බලන්න.”

"හරි ගරෙග්. ඒක ගැටලුවක් වෙන එකක් නැහැ.”

"හොඳයි. ඔයාගේ පැත්තෙන් වැඩ ටික ඉවර වුනාට පස්සේ, ඇවිත් අපිත් එක්ක එකතුවෙන්න."

“ඉතාමත් හොඳයි, සර්, අර්, ගරෙග්. පරණ පුරුදු, අර්?"

පසුදින උදෑසන හතට පමණ විනාඩි අනූවක දුරින් පිහිටි කාර්ඩිෆ් වෙත ගිය ගරෙග්, පිළිගැනීමේ කටුන්ටරය අසලදී රොන්ව කැඳවාගෙන එම් 4 මාර්ගයේ තවත් සැතපුම් 120 ක් දුරින් පිහිටි හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ගියේය. ඔවුන් මාර්සේ ප්‍රොවෙන්ස් ගුවන් තොටුපල වෙත පිටත්ව යන දහවල් ගුවන් යානයට ගොඩ වූ අතර ජෙනාරෝගේ එක් සේවකයෙකු ලිමොසින් වර්ගයේ රථයකින් පස්වරු පහට ඔවුන්ව රැගෙන ගියේය.

ගරේග් ඔහුව බෙන්ට්ලි රථයකින් කැඳවාගෙන යන විට රොන් තරමක් විශ්මයට පත්වූ අතර ඔවුන් දෙදෙනා ඉතා හොඳින් සම්බන්ධතාවය ගොඩනගා ගත්හ. රියදුරෙකු විසින් පදවන ලද සම්භාව්‍ය ගනයේ රෝල්ස් රොයිස් කැමර්ගු රථයකින් ඔවුන්ව වෙරළ තීරයේ පිහිටි ජෙනාරෝගේ මන්දිරය වෙත ගෙන ගිය විට, ඔහු කිසි දිනක එවන් සුඛෝපභෝගී අවස්ථා පැවතිය හැකි බව සිතා නොතිබිණි. ඇලබාමාහි උප නගරාසන්නයේ, බර්මින්හැම් හි නැව් ලිපිකරුවෙකු ලෙස ඔහු කෙරූ රැකියාවෙන් සහ ඔහුගේ කුඩා නිවසින් ඒ කාරණා බොහෝ දුරස්ව තිබුණි.

399
477,84 ₽
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
31 декабря 2021
Объем:
270 стр.
ISBN:
9788835432630
Переводчик:
Правообладатель:
Tektime S.r.l.s.
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

С этой книгой читают

Новинка
Черновик
4,9
169